1. සාරිපුත්ර ථේර අපදාන වර්ණනාව
එයට අමතරව ථෙරාපදාන සංග්රහ ගාථා වර්ණනා කිරීමට “අථ ථෙරොපදානං සුණාථ” යන්න කීහ. අපදාන ශබ්දයේ තේරුම යට කියන ලදි. මෙහි ථෙර ශබ්දය කාල, නොසෙල්වෙන, ස්ථිර, ප්රඥප්ති, නාම, ජ්යෙෂ්ඨ ආදී නොයෙක් අර්ථයන්හි යෙදේ. “ථෙරො වස්සිකානි පූතිනි චුණ්ණක ජාතානි” යන ආදියෙහි ස්ථවිරයන් වහන්සේ බොහෝ කාලයක් වස් සමාදන් වූහ යන අර්ථයි. “ථෙරො පි තාච මහා” ආදි තැන්හි ස්ථිර, නොසෙල්වෙන යන අර්ථයි. “ථෙරකො ආයස්මා මහල්ලකො” ආදී තන්හි ප්රඥප්තියයි. ලොක ව්යවහාර මාත්රයයි. “චුන්දත්ථෙරො - ඵුස්සත්ථෙරො” ආදී තන්හි නම් කිරීමයි. මෙසේ නම් කරන ලද්දේ යන අර්ථයි. “ථෙරොචායං කුමාරො මම පුත්තෙ සු” ආදී තන්හි ජ්යෙෂ්ඨ බවයි, වැඩිමහල් බවයි. මෙහි වනාහි කාලයෙහි ද ස්ථිරත්වයෙහිද, වැටේ. එහෙයින් බොහෝ කාලයක් සිටියේ යයි ද, ස්ථිරසාර වශයෙන් සීල ආචාරාදියෙහි යුක්ත වූයේ යයි ද ථේර නම් වේ. තෙරුන් ස්ථවිරයෝය. ඒ ස්ථවිරාදීන්ගේ චරිත කථා ථෙරාපදානයයි. “තං ථෙරාපදානං සුණාථ” යන්න හා බැඳේ.
හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්වතය ආදි ආයුෂ්මත් සාරිපුත්ර තෙරුන්ගේ අපදානයද, ඒ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ගේ වස්තුවද මෙසේ දතයුතුය.
අතීතයේ මෙයින් කල්ප ලක්ෂයකට අධික එක් අසංඛ්යයක් මත්තෙහි ආයුෂ්මත් සාරිපුත්ර තෙරුන් බ්රාහ්මණ මහාසාල කුලයේ ඉපිද, නමින් සරද මානව නම් විය. මහා මොග්ගල්ලාන තෙරුන්ද, ගෘහපති මහාසාල කුලයේ ඉපිද නමින් සිරිවඩ්ඪ කෙළෙඹියා නම් විය. ඒ දෙදෙනාම වැලිකෙලියේ පටන් මිත්රයෝ වූහ. ඔවුන් අතර සරද මානවකයා පියාගේ ඇවෑමෙන් කුලය සතු ධනය පිළිගෙන, එක්දිනක් රහසිගතව මෙසේ සිතුවේය. මේ සත්ත්වයන්ට මරණය නම් ඒකාන්තය. එහෙයින් මා විසින් එක් පැවිද්දකු වෙත එළඹ දුකෙන් මිදෙන මග ගවේෂණය කළ යුතුය. සහායක මිත්රයා වෙත එළඹ, ‘මිත්රය මම පැවිදිවනු කැමැති වෙමි. කිම නුඹ පැවිදි කිරීමට හැකි වන්නෙහිද? කියා, ඔහු විසින් නොහැකි වන්නෙමියි කී කල්හි වේවා! මමම පැවිදි වන්නෙමියි, රුවන් කෝෂ්ටාගාර ආදිය විවෘතකොට දිළින්දන්ට දී, පර්වත පාදයට ගොස්, සෘෂි පැවිද්දෙන් පැවිදි විය. ඒ පැවිද්දාට අනුව පැවිදි වූ සැත්තෑ හතරදහසක් පමණ වූ බ්රාහ්මණ පුත්රයෝ වූහ. ඔහු පංච අභිඥා අෂ්ට සමාපත්ති උපදවා ඒ ජටිලයන්ටද කසිණ සමවත් කීවේය. ඒ සියල්ලෝ පංච අභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත්හ.
එසමයෙහි අනෝමදස්සි නම් සම්මා සම්බුදුරදුන් ලොව ඉපිද, පවත්වන ලද උතුම් ධර්මය ඇත්තේ සත්ත්වයන් සංසාරමහා සැඩපහරින් එතර කරවමින් එක්දවසක් සරද තාපසයාටද, අතවැසියන්ටද සංග්රහ කරනු කැමැත්තේ එකකු නොදෙවෙනි පාත්ර සිවුරු රැගෙන අහසින් ගොස් බුද්ධභාවය මට දැනේවා’යි තාපසයා බලා සිටිද්දීම අහසින් බැස පොළොවේ සිටියේය. සරද තාපසයාද, බුදුරදුන්ගේ සිරුරේ මහා පුරුෂ ලක්ෂණ බලා, සර්වඥ බුදුන් යයි නිශ්චයට පැමිණ පෙරගමන්කොට ආසනයක් පනවා දුන්නේය. පනවන ලද ආසනයේ භාග්යවතුන් වහන්සේ වැඩසිටි සේක. සරද තාපසයා ශාස්තෲන් වහන්සේ සමීපයේ එකත්පසක හුන්නේය.
එසමයෙහි උන්වහන්සේගේ අන්තේවාසික සැත්තෑහතර දහසක් පමණ ජටිලයෝ ප්රණීත ප්රණීත ඕජවන්ත ගෙඩි රැගෙන පැමිණ ශාස්තෲන් දැක හටගත් පැහැදීම ඇත්තේ තමන්ගේ ගුරුවරයාට ශාස්තෲන් හුන් ආකාරය බලා, ගුරුතුමනි, අපි පෙර, නුඹ හා සමාන ශ්රෙෂ්ඨතර කිසිවකු නැතැයි සිතමු. මේ පුරුෂයා වනාහි, නුඹලාට වඩා ඉතා ශ්රේෂ්ඨ යයි හඟිමියි කීහ. දරුවනි, කුමක් කියවුද? සැටදහසක් යොදුන් උස සිනේරු පර්වතය අබ ඇටයකට සමාන කිරීමට කැමැතිවහුද? සර්වඥ වූ බුදුරදුන් විසින් මට සමාන නොකරවු. ඉක්බිති ඒ තාපසයෝ ගුරුතුමාගේ වචන අසා, ඒකාන්තයෙන් මේ උත්තම පුරුෂයෙකියි සියළුම දෙනා ළඟ වැටී අතර වැටී, ශාස්තෲන් වැන්දහ.