8. සිගාලක සූත්‍ර වර්ණනාව
මා විසින් මෙසේ සිගාලක සූත්‍රය අසන ලදී. එහි අනුත්තාන පද වර්ණනාව මෙසේය. වෙළුවනෙ කලන්දක නිවාපෙ - වෙළුවන යනු ඒ උයනේ නම් වේ. එය වනාහි උන ගස්වලින් වටකරන ලද්දේය. දහඅටරියන් පවුරෙන් හා ගෝපුර (දොරටුව) අට්ටාවලින් යුක්තව නිල් පාටින් බබළන මනරම් වූ එයින් වේළුවන යයි කියනු ලැබේ. ලෙහෙනුන්ට ද එහි ආහාර දුන්හ.
පෙර වනාහි එක්තරා රජෙක් ක්‍රීඩා පිණිස එහි පැමිණියේ සුරා මතයෙන් නිදා ගත්තේය. පිරිවර ජනයා ද රජ නිදි යයි මල් ඵලවලින් පොළඹවන ලද්දෝ එහෙ මෙහෙ ගියහ. ඉක්බිති සුරා ගඳින් එක්තරා සිදුරු ගසකින් කළු සර්පයෙක් නික්ම රජු අභිමුඛයට එයි. ඒ දුටු රුක් දෙවියා රජුට ජීවිතදානය කෙරෙමියි ලෙහෙනෙකුගේ වෙසින් පැමිණ කන මුල ශබ්ද කෙළේය. රජ අවදි විය. කළු සර්පයා නැවතුනේය. රජ ඌ දැක මේ කාලක විසින් කාල සර්පයාගෙන් මගේ ජීවිතය දෙන ලදැයි, එහෙයින් එතැන් පටන් කලන්දක නිවාප යයි ව්‍යවහාරයට පත්විය. “කලන්දක” යනු කාලකයින්ට (ලෙහෙනුන්ට) නමකි.
තෙන ඛො පන සමයෙන - භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගොදුරුගම් කොට කලන්දක නිවාප වේළුවනයෙහි වාසය කරති. ඒ සමයෙහි, සිගාලකො ගහපති පුත්තො - සිගාල යනු ඔහුගේ නම වේ. ගහපති පුත්තො යනු, ගෘහපතියාගේ පුතාය. ඔහුගේ පියා වනාහි ගෘහපති මහා සාළයෙකි. නිදන්කොට තබන ලද ඔහුගේ ගෙයි සතලිස් කෝටියක් ධනය ඇත. හේ භාග්‍යවතුන් සිටින විට උපාසකව සෝවාන් වූයේය. ඔහුගේ බිරිය ද සෝවාන් වූවාය. පුත්‍රයා වනාහි අශ්‍රද්ධාවත් වේ, අප්‍රසන්න වේ. ඉක්බිති ඔහුට මාපියෝ නිතර ඔවදන් දෙති. දරුව, ශාස්තෲන් වහන්සේ වෙත යන්න. ධර්ම සේනාපති (සැරියුත් හිමි) මහා මොග්ගල්ලාන, මහා කස්සප, අසූමහා සව්වන් කරා යන්න යයි උපදෙස් දෙති. එවිට හේ මෙසේ කියයි. ඔබලාගේ ශ්‍රමණයන් වෙත ගොස් මට වැඩක් නැත. ශ්‍රමණයන් ලඟට ගියවිට වැඳිය යුතු වේ. නැමී වඳිනවිට පිට රිදේ. දණහිස් රළු වේ. බිම හිඳගත යුතුය එහි හිඳගත් කල වස්ත්‍ර කිලිටි වේ. දිරයි. සමීපයේ සිටින කාලයේ පටන් කථා සල්ලාප වේ. එවිට විශ්වාසයක් ඇතිවේ. එයින් ආරාධනා කොට චීවර පිණ්ඩපාත ආදිය දිය යුතුය. මෙසේ ඇති කල්හි ධනය පිරිහේ. ඔබලාගේ ශ්‍රමණයන් වෙත එළඹීමෙන් මට වැඩක් නැත. මෙසේ ඔහුට දිවිතෙක් අවවාද කළමුත් සාසනයට පැමිණවීමට මව්පියෝ අසමත් වූහ.
ඉක්බිති පියා මරණ මංචකයෙහි නිපන්නේ මගේ පුතාට අවවාද දීමට වටී යයි සිතා නැවත සිතීය. දරුව, “දිසා නමස්කාර කරන්න” මෙසේ අවවාද දෙන්නෙමි. ඔහු අර්ථය නොදන්නේ දිසා නමස්කාර කරන්නේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේ හෝ දැක කුමක් කරන්නෙහිදැයි විචාරන්නෝය. එයින් මගේ පියා දිසා නමස්කාර කරවයි අවවාද දුන්නේයයි කියයි. ඉක්බිති උන්වහන්සේලා ඔබගේ පියා මේ දිසා නමස්කාර කරවන්නේ නැත. මේ දිසා නමස්කාර කරවයි දම් දෙසති. හේ බුදු සසුනෙහි ගුණ දැන පින්කම් කරන්නේය. ඉක්බිති ඔහු අමතා දරුව, පාන්දර නැගිට සදිසා නමස්කාර කරන්නයැයි කීය. මරණ මඤ්චකයෙහි නිපන් අයගේ කථා නම් දිවිතෙක් සිහිකළ යුතු වේ. එහෙයින් ඒ ගෘහපති පුත්‍රයා පියාගේ ඒ වචනය සිහි කරන්නේ එසේ කෙළේය. එහෙයින් වේලාසනින් නැගිට “රාජගහා නික්ඛමිත්වා” යනාදිය කියන ලදී.
පුථුදිසා - බොහෝ දැන් ඒවා දක්වන්නේ “පුරත්ථිම දිසං” යනාදිය කීහ. පාවිසි - තවම පිවිසියේ නැත. පිවිසෙන්නෙමියි නික්මුණු බව වනාහි අතරමග පවතින විට ද මෙසේ කියනු ලැබේ. අද්දසා ඛො භගවා - දැන් පමණක් දැක්කා නොවේ. අළුයම් වේලෙහි ද බුදු ඇසින් ලොව බලන්නේ මෙසේ දිසා නමස්කාර කරන්නා දැක අද මම සිගාල ගෘහපති පුත්‍රයාට ගිහි විනය වූ සිගාලෝවාද සූත්‍රාන්තය කියන්නෙමි. මහාජනයාට ඒ කථාව ප්‍රයෝජන වන්නේය. මා එහි යා යුතුය. එහෙයින් උදෙන්ම නික්මී රජගහනුවර පිණ්ඩපාතේ වැඩියහ. පිවිසෙන්නේ ඔහු එසේම දැක්කහ. එයින් කියන ලද “අද්දසා ඛො භගව” යයි. එතදවොච - හේ වනාහි ලඟ සිටියද ශාස්තෲන් නොදැක්කේය. දිසාම නමස්කාර කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට හිරුරැස් වැටී පිපෙන ලොකු නෙළුම් මලක් මෙන් මුව විවරකර ගෘහපති පුතය ඔබ කවුද යනාදි මේ වචන කීහ. “ස්වාමීනි, යථාකථංපන” වනාහි භාග්‍යවතුන් වහන්සේ ඒ වචන අසා සිතීය. මගේ පියා සදිසා වැඳිය යුතු යයි කියන ලදී.
ඒවා මේවා, ආර්ය ශ්‍රාවකයා විසින් වැඳිය යුතු ඒවා වෙනත් ඒවාය. මම ද අරිය සාවකයා විසින් වැඳිය යුතු දිසා අසා වඳින්නෙමියි හේ ඒවා අසන්නේ “යථා කථං පන භන්තෙ” යනාදිය කීය. යථා - නිපාතයකි. කථම්පන - ඇසූ පදය මෙයම වේ. කම්මකිලෙසා - ඒවායින් සත්වයා කිලිටි කරන්නේය. එහෙයින් කර්ම කිලෙස යයි කියනු ලැබේ. ඨානෙහි - කරුණුවලින්. අපායමුඛානි - විනාශමුඛ සො - හේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා. චුද්දසපාපතාපසො - මේ තුදුස් පාපලාමකවලින් දුරු වී සදිසා වසන්නේ උභො ලොකවිජයාය - මෙලොව පරලොව දෙලොව දිනීම සඳහා අයංචෙව ලොකො ආරද්ධොහොති - එබඳු වූ මෙලොව පංච වෛර නැත. ඔව්හු ඔහුට මෙලොව ද පටන්ගන්නා ලද වේ. සතුටු කරන ලද මෙන්ම සම්පාදිත වූයේ ද වේ. පරලොවේ ද පංච වෛර නැත. එයින් ම පරලොවද ආරාධිත වේ. එහෙයින් හේ මරණින් පසු සුගති වූ ස්වර්ග ලෝකයට පැමිණේ.