පාථීක වර්ගය අටුවාව
1. පාථික සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං.....මල්ලෙසු විහරති - පාථික සූත්‍රයයි. එහි පෙර නොවූ පද වර්ණනාවයි. මල්ලෙසු විහරති - මල්ල නම් ජනපදවාසී රජකුමාරවරු ඔවුන්ගේ නිවාසය එකම ජනපදයක පිහිටුවා ගත්හ. ඒ ජනපදයට රූඪි වශයෙන් මල්ල යයි කියනු ලැබේ. ඒ මල්ල ජනපදයෙහි. අනුපියං නාම මල්ලානං නිගමො - අනුපිය යයි මෙබඳු නමක් ඇති මල්ලයින්ගේ ජනපදයේ එක් නිගමයකි. එය ගොදුරු ගම කොට සෙවන සහ ජලය ඇති එක් වන ලැහැබක වාසය කරයි යන අර්ථයයි. “අනොපියං” යනු ද පාඨයකි. පාවිසි - පිවිසියේය. භාග්‍යවතුන් වහන්සේ තවම පිවිසියේ නැත. පිවිසෙමියි හික්මුණු බැවින් පාවිසි යයි කියන ලදී. කුමක් වාගේද? යම්සේ ගමට යමි. නික්මෙන පුරුෂයා ඒ ගමට නොපැමිණියේ ද මෙසේ කොහිදැයි කී කල්හි ගමට ගියේ යයි කියනු ලැබේ. මෙසේ එතදහොසි - ගම සමීපයෙහි සිට හිරු බලන්නහුට මෙය විය. අතිප්පගොබො - බොහෝ වේලාසනය, තවම ගෙවල් වල කැඳබත් ඉදී නැත. කිම? භාග්‍යවතුන් වහන්සේ කාලය නොදැන නික්මුණු සේක්ද? නොදැන නොවේ. පාන්දරම භාග්‍යවතුන් වහන්සේ නුවණ දැල එලා ලොව බලන්නේ බුද්ධ ඤාණය භාර්ගව ගෝත්‍ර ඡත්ත පිරිවැජියා තුළට පිවිසි බව දැක අද මම මේ පිරිවැජියාට මවිසින් පෙර කළ කාරණා ගෙනහැර දක්වා ධර්මය කියමි. ඒ ධර්ම කථාව මා කෙරෙහි ප්‍රසාද ප්‍රතිලාභ වශයෙන් සපල වන්නේයයි දැන පිරිවැජි අරමට පිවිසෙනු කැමතිව මෙසේ සිත ඉපදවීය.
එතදවොච - භාග්‍යවතුන් වහන්සේ දැක මානයෙන් තද නොවී පෙරගමන් කොට ස්වාමින් වහන්ස එනු මැනවි ආදි වචන කීවේය. ඉමං පරියායං - මේ වාරය. අද මේ පැමිණි වාරය යන අර්ථය කිම භාග්‍යවතුන් වහන්සේ මීට පෙර ද එහි ගියවිරීද? නැත. ලෝක හැසිරීම් වශයෙන් මෙසේ කීය. ලෝකයා වනාහි බොහෝ කාලයකින් පැමිණියේ ද නොපැමිණිවිරී වූවද මනාප ස්වභාවයෙන් පැමිණෙනු දැක පින්වත බොහෝ කාලයකින් පැමිණියේ යයි කෙසේද ඔබ මෙහාට එන්න පාර දැනගත්තේ කිම පාර වැරදුන්නේ නැද්ද ආදිය කියති. එහෙයින් මෙයද ලෝක හැසිරීම් වශයෙන් මෙසේ කියයි දත යුතුය.
ඉදමාසනං - තම හිඳි අසුන පිසදමා දෙමින් මෙසේ කීය. සුනක්ඛත්තො ලිච්ඡවි පුත්තො - සුනක්ඛත්ත නම් ලිච්ඡවි රජ පුත්‍රයාගේ වනාහි ඔහුගේ ගිහි කාලයේ යාළුවෙකි. කලින් කල ඔහු සමීපයට යයි. පච්චක්ඛාතො - ස්වාමීනි මම දැන් බගවතුන් අත්හරිමි. මම දැන් ස්වාමීනි බගවතුන් උදෙසා නොහැසිරෙමි. මෙසේ අත්හලේ,
භගවන්තං උද්දිස්ස - භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෲවරයාය. මම අවවාද අනුගමනය කරමි. මෙසේ පෙන්වා පච්ඡාචික්ඛති - යාචකයෙක් හෝ ඉල්ලා ගත්දෙය ප්‍රතික්‍ෂේප කරන්නේය. ඉල්ලාගත් දෙය යාචකයා හෝ ප්‍රතික්‍ෂේප කරන්නෝය. ඔබ යාචකයෙක් ද නොවේ. යාචිතකද නොවේ. මෙසේ ඇති කල්හි හිස් මිනිහා, කවරෙක් සමානව, කවරෙක් ඇතිව ප්‍රතික්ෂේප කරයි ද දක්වයි. පස්ස මොඝපුරීස - හිස් මිනිහා බලපන්. යාචඤ්ච තෙ ඉදං අපරද්ධං - යම් පමණ ඔබගේ මේ කළ අපරාධය වෙයිද ඔබගේ අපරාධය යම් පමණ ද එපමණ දෝසය වේ. භාර්ගවය, මම මෙසේ ඔහුට දෝසය ආරෝපනය කෙළෙමියි නම් දැක්වීය.
උත්තරිමනුස්ස ධම්මා - පන්සිල් දසසිල් සංඛ්‍යාත මනුෂ්‍ය ධර්මවලින් ඉහල. ඉද්ධිපාටිහාරියං - සෘද්ධියෙන් යුත් ප්‍රාතිහාර්ය. කතෙ වා - කළකල්හි හෝ, යස්සත්ථාය - යම් දුකක් කෙළවර කිරීම සඳහා. නීත්‍යාති තක්කරස්ස - ඒ ධර්මය, එය කරන්නාට, මවිසින් යම්සේ ධර්මය දේශනා කරන ලදද එසේ කරන්නාට, මනාව පිළිපන් පුද්ගලයාට සියළු සසර දුක් කෙළවර කිරීම පිණිස අමෘතමහා නිර්වාණය සාක්ෂාත් කිරීමට යන්නේ ද නොයන්නේ ද පවතීද නොපවතී ද විචාරයි.
තත්‍ර සුනක්ඛත්ත - සුනක්ඛත්ත, මා විසින් දේශනා කරන ධර්මයෙහි එය කරන්නාට මනාව දුක් අවසන් කිරීමට පවතින කල්හි කිම උතුරු මිනිස්දම්වලට සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් කුමක් කෙරේද එය කිරීමෙන් කුමන ඵලක්ද? යන අර්ථයයි. එය කළත් නොකළත් මාගේ සාසනයේ පිරිහීමක් නැත. දෙව්මිනිසුන් අමෘතමහා නිර්වාණයට පැමිණවීමට මම පාරමිතා පිරුවෙමි. ප්‍රාතිහාර්ය කිරීම සඳහා නොවේ. ප්‍රාතිහාර්යයේ නිරර්ථකභාවය දක්වා “බලව හිස් මිනිස” යයි දෙවන දෝෂය ආරෝපනය කළහ.