7. ලක්ඛණ සූත්ර වර්ණනාව
ලක්ඛණ සූත්රය මා විසින් මෙසේ අසන ලදී. එහි උත්තාන නොවන පද වර්ණනාවයි. ද්වත්තිංසිමානි - මේ දෙතිස. මහා පුරිස ලක්ඛණානි - මහා පුරිස ව්යඤජන වේ. මහපුරිස ලකුණය. මහ පුරිස් නිමිතිය. මේ තෙමේ මහා පුරුෂයෙකැයි හඳුනා ගන්න කරුණුය. “යම් දේවලින් යුක්ත වන්නේ මහා පුරුෂයාගේ” යයි ආදිය මහා පදාන සූත්රයෙහි විස්තර කළ නයින්ම දත යුතුය.
බාහිර සෘෂීහු ද මේවා දරති. මේ කර්ම කළ බැවින් මේ ලක්ෂණ ලබතියි නොදනිත් ද. කුමක් හෙයින් කීවේද? අට්ඨුප්පත්ති වශයෙනි. අනුරූප හෙයිනි. මේ සූත්රය වනාහි අට්ඨුප්පත්තිකය. එය වනාහි අට්ඨුප්පත්ති කොහි පිහිටියේද? ඇතුළුගම මිනිසුන් අතරය. එකල වනාහි සැවැත් නුවර වාසීහු තම තමාගේ ගෙවල දොරකඩ නගර සාලාවල ද රැස් වී කථා සල්ලාපයෙනි (සම්මන්ත්රණවල) යෙදුණාහ. භාග්යවතුන් වහන්සේගේ අසූ අනුව්යඤජන ව්යාමප්රභා දෙතිස් උතුම් ලකුණුවලින් උන්වහන්සේගේ ශරීරය පිපීගිය මලින් යුත් පාරිජාත ගස මෙනි. පිපුණු නෙළුම් වනයක් මෙනි, නානා විචිත්ර රුවනින් පිරීගිය රන් තොරණක් මෙනි. තරු රසින් බබළන ගුවන් තලය සේ ඔබ මොබ දුවන සැලෙන සවණක් රස් විසුරුවන්නේ අතිශයින් බබළයි. භාග්යවතුන් වහන්සේ ද මෙනම් කර්මයෙන් මේ ලක්ෂණ පහළ වී යයි කියන ලද්දේ නොවේ. කැඳ කෙනෙස්සක් පමණ (ලොකු හැන්ද) ද බත් සරළුවක් (හැන්ද) පමණ ද පෙර දුන් හේතුවෙන්ම මේවා පහළ වී යයි භාග්යවතුන් වහන්සේ විසින් කියන ලදී. යම් හෙයකින් මේ ලකුණු පහළවීමට භගවත්හු විසින් කර්ම කළේද?
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇතුළුගම හැසිරෙන්නේ මේ කථා සල්ලාපය අසා කරන ලද බත් කිස ඇත්තේ විහාරයට පැමිණ වතාවත් කොට බුදුන් වැඳ සිටියෝ, ස්වාමීනි මා විසින් ඇතුළුගම දී එක් කතාවක් අසන ලදැයි කී. ඉක්බිති භාග්යවතුන් ආනන්ද, ඔබ ඇසූ කතාව කුමක්දැයි පුළුවුත් කල්හි සියල්ල දැන්වීය. ශාස්තෲහු තෙරුන්ගේ වචනය අසා පිරිවරා සිටි භික්ෂූන් අමතා “මහණෙනි, මහා පුරුෂයාගේ මේ දෙතිස් ලකුණු” යයි පිළිවෙළින් ලක්ෂණ දක්වා කර්මයෙන් නිපදවන දේ දැක්වීමට මෙසේ කීහ.
“පුරිමං ජාති” යනාදියෙහි පෙර විසූ ස්කන්ධ වශයෙන් ජාතී - යයි කියන ලදී. එසේම වීම් වශයෙන් භවො - යයි කියන ලදී. විසූ හෙයින් බැඳුණු හෙයින් හෝ නිකෙත - වේ. පද තුනම පෙර විසූ ස්කන්ධ සන්තානයෙහි සිටියේය යන අර්ථය වේ.
දැන් යම් හෙයකින් ඒ ස්කන්ධ සන්තානය දෙව්ලෝවල ද පවති. ලක්ෂණ නිදපවීමට සමත් කුසලකර්ම වනාහි එහි පහසු නොවේ. මිනිස් වීමෙන්ම පහසු වේ. එහෙයින් යථාර්ථ වශයෙන් එයින් යම් කර්මයක් කරන ලදද එය දක්වන්නේ “පෙර මිනිස් වූයේ” යයි කීහ. මෙය සුදුසු නොවේද? ඇත් අස් මුව මහිස වානරාදි ජීවිතවලදී ද මහා පුරුෂයා පාරමී පිරුවේමය. එබඳු ආත්මභාවවල සිට කරන ලද කර්ම පහසුවෙන් දැක්වීමට නොහැකිය. මනුෂ්යභාවයෙහි සිට කරන ලද කර්ම පහසුවෙන් දැක්විය හැකිය. එහෙයින් “පුබ්බෙ මනුස්සභූතො සමානො” යයි කීහ.
දළ්හ සමාදානො - ස්ථිර ග්රහණය. කුසලෙසු ධම්මෙසු - දස කුසල කර්ම පථවල. අවත්ථිත සමාදානො - නිසල ගැනීම. නොනැවතී ගැනීම. මහා සත්වයාගේ අකුසල කර්මයෙන් ගිනි ඇති වී කුකුළු පිහාට්ටක් මෙන් සිත හැකිලේ. කුසලට පැමිණ වියනක් මෙන් පැතිරේ. එහෙයින් දළ්හ සමාදානය වේ. කුසල සමාදානය බිඳීමට ශ්රමණ බ්රාහ්මණ දෙවි මර බ්රහ්ම කිසිවෙකුට හැකි නොවේ.
එහි මේ වස්තුව දැක්වේ. මහා පුරුෂය පෙර ලෙහෙන යෝනියෙහි ඉපදිණි, ඉක්බිති වැසිවැස මහා සැඩ පහරක් පැමිණ ලේන් කුඩුව ගහගෙන ගොස් මහ සමුදුරට පත්විය. මහා පුරුෂ පුතුන් හැරගන්නෙමියි නගුට තෙම තෙමා මුහුදින් දිය පිටත දැමීය. සත්වන දිනයෙහි ශක්රයා දැන එහි අවුත් කුමක් කරන්නේ දැයි ඇසීය. හේ ඔහුට කීවේය. ශක්රයා මහ සමුදුරින් දිය හැරදැමීම නොහැකි බව කීය. බෝධිසත්වයා තා වැනි කුසීතයකු සමග කතා කිරීමට ද නොවටී. මෙහි නොසිටවයි පලවා හැරීය. ශක්රයා උතුම් පුරුෂයා විසින් ගන්නා ලද ගැනීම අත්හැරවීමට නොහැකි යයි සතුටුව ඔහුගේ පුතුන් ගෙනවුත් දුන්නේය. මහාජනක කාලයෙහි ද මහසමුදුර තරණය කරන්නේ, කුමක් හෙයින් මහසමුදුර ගැඹුර ද පළල ද දක්වා කවදා නම් තරණය කරන්නේදැයි විචාළේ කීය. මගේ අදහස මේ මහා සමුද්රය මෙනි ඒ අදහස අනුව මේ මහා සමුද්රය කුඩා ඇලක් මෙන් හැඟේ. ඔබටම මා දැකිය හැකි වන්නේය. සමුද්රය තරණය කොට මුහුදෙන් එතෙර ධනය ගෙන කුල සත්තක රටෙහි රාජ්යය ගෙන දන්දෙන්නා වූ මා, උතුම් පුරුෂයා ගන්නා ලද ගැනීම අත්හැරවීමට නොහැකි යයි දෙවියා බෝසතුන් වැළඳගෙන උයනෙහි සැතපවීය. හේ සේසත් ඔසවා දිනපතා පන් ලක්ෂයක් පරිත්යාග කොට පසු කාලයෙහි පැවිදිවීය. මෙසේ මහා සත්වයාගේ කුසල සමාදානය වැලැක්වීමට කිසිවෙකුට නොහැක.