5. සම්පසාදනිය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං - සම්පසාදනිය සූත්‍රය. මේ එහි ගැඹුරු පද වර්ණනාවය. නාලන්දායං - නාලන්ද නම් නගරයෙහි. ඒ නගරය ගොදුරු ගම් කොට. පාවාරිකම්බවනෙ - දුස්සපාරික නම් සිටුවරයාගේ අඹ වනයෙහි. එය වනාහි ඔහුගේ උයන විය. හේ භාග්‍යවතුන් වහන්සේගේ දහම් අසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී ඒ උයනෙහි කුටි ලෙණ මණ්ඩපාදියෙන් යුත් විහාරයක් කොට භාග්‍යවතුන් වහන්සේට පූජා කෙළේය. ඒ විහාරය ජීවකම්බ වනය මෙන් පාවාරිකම්බවනය යයි ප්‍රසිද්ධ විය. ඒ පාවාරික අඹවනයෙහි වාසය කරති යන අර්ථයයි. භගවන්තං එතදවොච එවං පසන්නො අහං භන්තෙ භගවති - කුමක් හෙයින් මෙසේ කීවේද? තමාට උපන් සොම්නස ප්‍රකාශ කිරීම සඳහා.
මේ එහි අනුපිළිවෙළ කථාවයි. තෙරුන් වහන්සේ වනාහි එදින කලින්ම සිරුර පිළිදැඟුම් කොට හැඳ පෙරවා පා සිවුරු ගෙන පැහැදුනා වූ සතුටු වූවාහු දෙව් මිනිසුන්ගේ ප්‍රසාදය ඇති කරවමින් නාලන්දා වාසීන්ගේ හිතසුව වඩමින් පිඬු පිණිස හැසිර පසු බතෙහි පිණ්ඩපාතයෙන් වෙන් වූයේ විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේට වත් දක්වා ගඳකිලියට පිවිස බුදුන් වැඳ තමාගේ දිවා ස්ථානයට පැමිණියේය. එහි සද්ධි විහාරික අතවැසි වත් දක්වා නික්මෙනවිට දිවා ස්ථානය හැමද සම්කඩ පනවා දිය කුඹින් ගත් දියෙන් අත් පා සීතල කොට තුන් සන්ධි ආසනයේ හිඳ කාලය නියම කර පල සමවතින් සිටියේය.
හේ පිරිසිඳි කාල වශයෙන් සමාපත්තියෙන් නැගිට තමාගේ ගුණ සිහිකිරීමට පටන් ගත්තේය. ඉක්බිති උන්වහන්සේගේ ගුණය සිහි කරන්නේ සීලය සිහිවිය. ඉක්බිති පිළිවෙළින් සමාධි පඤ්ඤා විමුක්ති ඤාණ දස්සන ප්‍රථමධ්‍යාන.....නේවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්ති, විපස්සනා ඤාණය, දිබ්බ චක්ඛු ඤාණං, සොතාපත්ති මග්ග, සොතාපත්ති ඵල.. අරහත්ත මග, අරහත්ත ඵල, අත්ථපටිසම්භිදා, ධම්මපටිසමභිදා, නිරුත්තිපටිසම්භිදා, පටිහාණ පටිසම්භිදා, සාවක පාරමී ඤාණය. මෙතැන් සිට කල්ප ලක්ෂයකට අධික අසංඛයකට පෙර අනෝමදස්සි බුදුන් පාමුල කරන ලද ප්‍රාර්ථනාව ආදිය දක්වා තමාගේ ගුණය සිහි කරන්නේ හිඳින පලඟ දක්වා ගුණ වැටහුණේය.
මෙසේ තෙරුන් වහන්සේ තමාගේ ගුණය සිහි කරන්නේ තමාගේ ගුණ ප්‍රමාණත් හෝ සීමාවක් හෝ දැකීමට නොහැකි විය. උන්වහන්සේ සිතූහ. ප්‍රදේශ ඤාණයෙහි සිටි මාගේ ගුණවල ප්‍රමාණවත් හෝ සීමාවක් නැත. මම වනාහි ශාස්තෲන් උදෙසා පැවිදි වූයෙමි. උන්වහන්සේගේ ගුණ කෙබඳුදැයි දසබල බුදුන්ගේ ගුණ සිහිකිරීමට පටන් ගත්හ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සීලය නිසා සතර සතිපට්ඨායාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, සතර මග, සතරඵල, සිව් පිලිසිඹියා සිව්යෝනි පිරිසිඳ දක්නා නුවණ, සතර අරියවංස නිසා දසබල ගුණ සිහි කිරිමට පටන් ගත්හ.
එසේම පංච ප්‍රධාන අග, සම්මා සමාධි, පංච ඉන්ද්‍රිය, පංචබල, පංච නිස්සරණ ධාතු, පංච විමුත්ති ආයතන, පංච විමුත්ති පරිපාචනීය පඤ්ඤා, සාරණීය ධම්ම සය, අනුස්සතිඨාන සය, ගාරව සය, නිස්සරණි ධාතු සය, සත්තවිහාරි සය, අනුත්තරිය සය, නිබ්බෙධ භාගිය සය, අභිඤා සය, අසාධාරණ ඤාණ සය, අපරිහානිය ධර්ම සත, අරිය ධන හත, බොජ්ඣංග සත, පුරිස ධම්ම සත, නිජ්ජර වත්ථු සත, පඤ්ඤා සත, දක්ඛිණෙය්‍ය පුග්ගල සත, ඛීණාසවබල සත, පඤ්ඤා පටිලාභ හේතු අට, සම්මත්ත අට, අටලෝ දහම් ඉක්මවීම, ආරම්හ වත්ථු අට, අක්ඛණ දෙසනා අට, මහා පුරිස විතක්ක අට, අභිභායතන අට, විමොක්ඛ අට, මනසිකාර මූලක ධම්ම නවය, පරිසුද්ධිපධාන අංක නවය, සත්තාවාස දෙසනා නවය, ආඝාත පටිවිනය නවය, සඤ්ඤා නවය, නානත්ත නවය, අනුපුබ්බ විහාර නවය, නාථකරණ ධම්ම දහය, සම්මත්ත දහය, අරියවංස දහය, අසෙඛ ධම්ම දහය, මෙත්තානිසංස එකොලහ, ධම්ම චක්කාකාර දොළහ, ධුතගුණ තෙළෙස, බුද්ධ ඤාණ තුදුස, විමුත්ති පරිපාචනීය ධම්ම පසළොස, සොළොස් ආකාර ආනාපාන සති, හතලිස් හතර, කුසල දහම් පනස, සත් සැත්තෑ ඤාණ වස්තු. කෝටි ලක්ෂ විසිහතරක් සමාපත්ති, සඤ්චාර මහා වජ්‍ර ඤාණය නිසා දසබල බුදුන්ගේ ගුණය සිහි කිරිමට ඇරඹුවේය.