පිරිනිවන් පෑම් තුනකි. කෙලෙස් පිරිනිවුම බෝධි පල්ලංකයේ (ආසනය) විය. ඛන්ධ පරිනිබ්බානය කුසිනාරාවෙහි විය. ධාතු පිරිනිවීම අනාගතයෙ වන්නේය. සාසනය නැසෙන කාලයෙහි මේ දිවයිනෙහි ධාතු (ලංකාව) රැස් වී මහාචේතිය (රුවන්වැලිසෑය) වෙත යයි. මහ සෑයෙන් නාග දීපයේ රාජායතන චේතිය වෙත එතැනින් මහාබෝධි පල්ලංකයට නාග භවන දෙව්ලෝ බඹ ලෝ ධාතු ද මහ බෝ පලඟට යයි. අබටක් සා ධාතු ද අතර මග නොනසී. සියළු ධාතු මහ බෝ පලඟට රැස්ව රන් කඳක් මෙන් එකට ඝන වී සවනක් රස් විහිදුවයි.
දස දහසක් සක්වල පැතිරෙයි. ඉන්පසු දස දහසක් සක්වල දෙවියෝ රැස්වෙති. අද ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පාති. අද සාසනය අවසන් වෙයි. දැන් අවසාන දර්ශනයයි. මේ අපගේ දශබල බුදුන්ගේ පිරිනිවි දවසයි. මහත් කරුණාව කරති. අනාගාමි ක්ෂීණශ්‍රාවයන් හැර සෙස්සෝ තමාගේ ස්වභාවයෙන් සිටීමට නොහැකි වෙති. ධාතුවලින් තෙජෝ ධාතු නැගී බඹලොව දක්වා උඩට යයි. අබටැක් පමණ ධාතු ද පවතින විට එකම ජාලයක් වේ. ධාතු විනාශයට ගිය කල්හි පැවැත්ම නවති. මෙසේ මහත් ආනුභාවයක් දක්වා ධාතු අතුරුදහන් වූ කල්හි සාසනය අතුරුදහන් වූයේ නම් වෙයි.
මෙසේ අතුරුදහන් වනතුරු අචරිම - වේ. මෙසේ අපුබ්බ අචරිමව බුදුවරු නූපදිති. ආශ්චර්ය නොවන නිසා බුදුවරු ආශ්චර්ය මනුෂ්‍යයෝය කීහ. මහණෙනි එක් පුද්ගලයෙක් ලොව පහළ වේ. හේ ආශ්චර්ය මනුෂ්‍යයෙකි. කවුරුද? තථාගත අරහත් සම්මා සම්බුද්ධයන් වහන්සේය. ඉදින් දෙන්නෙක් හෝ සතර දෙනෙක් හෝ අට දෙනෙක් හෝ දහසය දෙනෙක් හෝ එකට උපදින්නාහු නම් ආශ්චර්ය නොවන්නේය. එක් විහාරයක චේතිය දෙකකට ලාභ සත්කාර මහත් නොවේ. භික්ෂු බොහෝ වේ නම් ආශ්චර්ය නොවන්නේය. එහෙයින් නූපදිති. දේශනාවේ විශේෂ භාවයෙන් ද යම්සේ සතිපට්ඨානාදි ධර්මය එකෙනෙක් දේශනා කරයි. අන්‍යයෙක් ඉපදුනොත් භේද දේශනා කරයි. එයින් අසිරිමත් නොවේ. එක් කෙනෙක් ධර්මය දේශනා කරනවිට ආශ්චර්ය වන්නේය. විවාද නැති වන්නේය. බොහෝ බුදුවරු පහළ වූ කල බොහෝ ආචාර්යවරුන්ගේ අතවැස්සන් මෙන් අපගේ බුදුන් ප්‍රසාදිතය. අපගේ බුදුන් මධුරස්සරය, ලාභිය, පින්වන්ත යයි වාද කරන්නාහුය. එහෙයින් මෙසේ නූපදිති.
තව ද මේ කරුණ මිලිඳු රජු ඇසුරෙන් නාගසේන හිමි විස්තර කෙළේය. එහි කියන ලදී: ස්වාමීනි නාගසේනයන් වහන්ස, භාගවතුන් විසින් මෙයද කියන ලදී.
“මහණෙනි, එකම ලෝකධාතුවක අරහත් සම්මා සම්බුද්ධ දෙනමක් පෙර පසු නොවී උපදින්නාහු නම් මෙය සිදු නොවේ.” ස්වාමීනි, නාගසේනයන් වහන්ස, සියළු තථාගතවරු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා කරති. චතුරාර්ය සත්‍ය කියති. ත්‍රිවිධ ශික්ෂාවෙහි ම හික්මවති. අප්‍රමාද ප්‍රතිපත්තියේම පිහිටීමට අනුසාසනා කරති. ස්වාමීනි නාගසේනයන් වහන්ස, සියළු තථාගතයන්ගේ එකම දේශනාවය, එකම කථාවය, එකම ශික්ෂා පදය, එකම අනුසාසනාවය. ඒක ක්ෂණයෙහි බුදුවරුන් දෙදෙනෙකු නූපදින්නේ කුමන කරුණකින්ද? එක බුදුවරයෙකුගේ පහළවීමෙන් මේ ලෝකය එලිය වැටුනේය. බුදුවරු දෙන්නෙක් පහළ වේ නම් දෙදෙනෙකුගේ ප්‍රභාවෙන් මේ ලෝකය බොහෝ සෙයින් එලිය වැටෙන්නේය. අවවාද දෙන්නේ ද බුදුවරු දෙදෙනෙකුට පහසු වන්නේය. අනුසාසනා කිරීමට ද පහසු වන්නේය. එහි මේ කාරණය මගේ සැකය නැතිවෙන්න කියනු මැනවි.