4. අග්ගඤ්ඤ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං - අග්ගඤඤ සූත්‍රය. මේ එහි ගැඹුරුපද වර්ණනාවය. පුබ්බාරාමෙ මිගාරමාතු පාසාදෙ - මේ පිළිවෙළ කථාව මෙසේය. කල්ප ලක්ෂයකට පෙර එක් උපාසිකාවක් පියුමතුරා බුදුන්ට ආරාධනා කොට බුදුන් ප්රමුඛ භික්ෂූන් ලක්ෂයකට දානයක් දී භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැතිරි අනාගතයෙහි ඔබ වහන්සේ වැනි බුදුන් වහන්සේ කෙනෙකුට අග්‍ර උපස්ථායිකාව වන්නෙමියි ප්‍රාර්ථනාවක් කළාය. ඕ තොමෝ කල්ප ලක්ෂයක් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අපගේ බුදුන් වහන්සේගේ කාලයෙහි භද්දිය නගරයෙහි මෙණ්ඩක සිටුතුමාගේ පුත්‍ර ධනඤ්ජය සිටුවරයාගේ ගෙයි සුමනා සිටුදේවිය කුස පිළිසිඳ ගත්තාය. උපන් කාලයෙහි ඇයට විසාඛා යයි නම තැබූහ. බුදුන් වහන්සේ භද්දිය නගරයට වැඩිය විට ඕතොමෝ දැරියන් පන්සියයක් සමග පෙරගමන් කොට පළමු දැකීමෙන් ම සෝවාන් වූවාය.
පසු කාලයෙහි සැවැත් නුවර මිගාර සිටු පුත් පුණ්‍යවර්ධන සිටුකුමරා සමග විවාහ වූවාය. එහි දී ඕ මිගාර සිටුවරයා විසින් මව් තනතුරෙහි තබන ලදී. එහෙයින් මිගාරමාතා යයි කියනු ලැබේ. පතිකුලයට යනවිට ඇයට ඇගේ පියා මහාලතා පසාධනය (මහාලතා ඇඳුම) කරවීය. ඒ ඇඳුමෙහි දියමන්ති නැලි හතරක් උපයෝගී විය. මුතු එකොළොස් නැලියක් ද පබළු දොලොස් නැලියක් ද මැණික් තිස්තුන් නැලියක් ද මෙසේ මේවායින් ද අන්‍ය වූ සප්ත රත්නවලින් නිමවීය. එය හිසෙහි පැළඳගත් කල දෙපතුල දක්වා වැටේ. ඇතුන් පස් දෙනෙකුගේ බල ඇති ස්ත්‍රියකට ම එය දැරිය හැකි විය. ඕ තොමෝ පසු කාලයෙහි දසබල බුදුන්ගේ අග්‍ර උපස්ථායිකාව වී ඒ පසාධනය විකුණා නව කෝටියකින් භාග්‍යවතුන් වහන්සේට විහාරයක් කරවන්නී අමුණු සතරක භූමි භාගයක ප්‍රාසාදයක් කරවීය. එහි උඩුමහලෙහි කුටි පන්සියයක් විය. පහත මාලයෙහි පන්සියක් විය. ඒ අනුව එය කුටි දහසකින් යුක්ත විය. ඕ තොමෝ තනි ප්‍රාසාදය පමණක් ලස්සන නැතැයි එය පිරිවරා ගෙවල් දෙසිය පනහක් ද කුඩා ගෙවල් දහසක් ද දික් සාලා පන්සියයක් ද කරවීය. විහාර පූජෝත්වය හාරමාසයකින් නිමවිය.
ස්ත්‍රියක්ව සිටි විසාඛා මෙන් බුද්ධ සාසනයෙහි ධන පරිත්‍යාග කළ වෙනත් ස්ත්‍රියක් නැත. පිරිමියෙක්ව සිට අනේපිඩු සිටුතුමා මෙන් වෙන කවුරුවත් නැත. ඒ සිටුතුමා සිව්පනස් කෙළක් ධනය වියදම් කොට සැවැත්නුවර දකුණු භාගයෙහි අනුරාධපුර මහා විහාරය මෙන් ස්ථානයක ජේතවනාරාම මහා විහාරය කරවීය. විසාඛා සැවැත්නුවර පෙරදිග උත්තම දේවි විහාරය පිහිටි තැන මෙන් ස්ථානයක පූර්වාරාම නම් විහාරය කරවූවාය. බුදුන් වහන්සේ මේ කුළ දෙකට අනුකම්පාවෙන් සැවැත්නුවර නිසා වැඩ වන්නේ මේ විහාර දෙකෙහි නිබද්ධ වාසයෙන් වැඩසිටියහ. එක් ඇතුළු වසක් ජේවනයෙහි වසති. එක් ඇතුළු වසක් පුබ්බාරාමයෙහි වසති. එක් සමයක වනාහි භාග්‍යවතුන් වහන්සේ පුබ්බාරාමයෙහි වාසය කරති. එහෙයින් කියන ලදී. “පුබ්බාරාමෙ මිගාර මාතු පාසාදේ”
වාසෙට්ඨ භරද්වාජො - වාසෙට්ඨ ද සාමණේර භාරද්වාජ භික්ඛුසු පරිවසන්ති - තීර්ථක පරිවාස නොවේ. ඇවැත් පිරිවෙස් ද නොවේ. භික්ෂුභාව ප්‍රාර්ථනා කරමින් වසති. ඒ දෙදෙනාම සතලිස් කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ මහාසාල කුලයෙහි උපන්හ. තුන් වේදයෙහි පරස්පෙරට ගියහ. මජ්ඣිම නිකායෙහි වාසෙට්ඨ සූත්‍රය අසා සරණ ගියහ. තෙවිජ්ජ සූත්‍රය අසා පැවිදි වූහ. මේ කාලයෙහි භික්ෂුභාවය බලාපොරොත්තුවෙන් පිරිවෙස් පුරති. අබ්භොකායෙ වංකමති - උතුරු දකුණින් පළල් වූ ප්‍රාසාදයේ ඉදිරිපස ප්‍රාසාදය ඡායාවෙහි යන්තර ලනුවලින් අදිනු ලබන සත්රියන් උස රන් ඇගෑවක් මෙන් අහසෙහි දිවෙන සවණක් බුද්ධ රශ්මිවලින් අලංකාර කරන්නේ එහා මෙහා සක්මන් කරයි.
අනුචංකමිංසු - ඇඳිලි බැඳ නැමුණු ශරීර ඇත්තේ අනුවර්තනය වෙමින් සක්මන් කළහ. වාසෙට්ඨං ආමත්තෙසි - හේ ඔවුන්ගේ පණ්ඩිතතර යයි ගත යුතුය. විසඳිය යුත්ත ද දනී. එහෙයින් ඔහු ඇමතූහ. තුම්හෙ බවත්ථ - ඔබ කවරෙක් වේද? බ්‍රාහ්මණ ජච්චා - බ්‍රාහ්මණ ජාතිකයෙකි. බ්‍රාහ්මණ කුලිනා - බ්‍රාහ්මණයන් අතර කුලීනයෙකි, කුලසම්පන්නයෙකි. බ්‍රාහ්මණ කුල - භවභෝග සම්පත් ඇති බ්‍රාහ්මණ කුලයට හැර යන අර්ථයයි. න අක්කොසන්ති - දසවිධ වූ ආක්‍රෝශ වස්තුවලින් ආක්‍රෝශ නොකරති. අපහාස නොකරති. දැනගන්නට අසයි. කවර හෙයින්ද? පළමුවෙන් මා නොඇසුයේ නම් කථා නොකරති. කථා නොකළ කල්හි කතා පටන් නොගනී. කතා පටන් ගැනීම සඳහා තග්ඝා - ඒකාන්ත වචනයෙහි නිපාතයකි. ස්වාමීනි, ඒකාන්තයෙන්ම අපට ආක්‍රෝශ කරති නින්දා කරතියි කියන ලද්දේ වේ. අත්තරූපාය - තමාට අනුරූපව, පරිපුණ්ණාය - කැමති පද අකුරු නගා සම්පූර්ණ කිරීමෙන්. නො අපරිපුණ්ණාය - අතර නොතබා පවත්වමින්.