3. චක්කවත්ති සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතං - චක්‍ර වර්ති සූත්‍රය. මෙය එහි ගැඹුරු පද වර්ණනාවයි. මාතුලායං - එසේ නම් ඇති නගරයෙහි. ඒ නගරය ගොදුරු ගම කොට නුදුරු වන ලැහැබෙහි වාසය කරයි. “එහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූහ”.
මෙහි මේ පිළිවෙළ කථාවය. මේ සූත්‍රය දේශනා කරන දිනයෙහි පාන්දර මහා කරුණා සමාපත්තියෙන් නැගිට ලොව බලන්නේ මේ අනාගත වංශය ආලෝක කරන සූත්‍රාන්ත කථාවෙන් මාතුල නගරවාසී අසුහාර දහසක් දෙනාට ධර්මාවබෝධය වන බව දැන උදේම විසි දහසක් භික්ෂූන් පිරිවරා මාතුල නගරයට පැමිණියහ. මාතුල නගරවාසී ක්ෂත්‍රියෝ භාග්‍යවතුන් වහන්සේ වැඩියේ යයි අසා පෙර ගමන් කොට බුදුරදුන්ට ආරාධනා කොට මහත් සත්කාරයෙන් නගරයට වැඩමවා වැඩසිටින ස්ථානයක් පිළියෙළ කොට මහාර්ඝ ආසනයක වඩා හිඳුවා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ වළඳා අවසානයෙහි සිතූහ. ඉදින් මේ ස්ථානයෙහි මේ මිනිසුන්ට ධර්මය දේශනා කරන්නෙම් නම් මේ ප්‍රදේශය සම්බාධ සහිතය. මිනිසුන්ට සිටගෙන සිටීමට හෝ හිඳ ගැනීමට අවකාශයක් නැත.
රාජකුලයන්ට භූතානු මෝදනා නොකොට පාත්‍රය ගෙන නගරයෙන් නික්මුණාහ. මිනිස්සු සිතූහ. ශාස්තෲන් වහන්සේ අපට අනුමෝදනාවක්වත් නොකොට වඩිති. ඒකාන්තයෙන් දානය අවසානයේ අමනාපයක් ඇතිවීම පෙණය සහිත නයෙකුගේ බෙල්ලෙන් ඇල්ලීම හා සමාන වේ. එන්න පින්වත්නි, තථාගතයන් වහන්සේ සමාකර ගනිමුයයි සියළු නගරවාසීහු භාග්‍යවතුන් වහන්සේ සමග නික්මුණේ වඩින බුදුන් වහන්සේ මගධ කෙතෙහි නැවතුනහ. අතු වෙලෙපින් යුත් පැතිරුණු සෙවන කිරියක් (අමුණු සතරක පමණ) පමණ විහිදී ඇති එක් අත්තන ගසක් දැක මේ ගසමුල හිඳ දහම් දේශනා කරන්නේ නම් මහජනයාට සිටීමට හිඳගැනීමට අවකාශ ඇතිවන්නේ යයි නැවතී මාර්ගයෙන් ඉවත්ව ගස මුලට පැමිණ ධර්ම භාණ්ඩාගාරික අනඳ හිමි දෙස බැලූහ. තෙරුන් වහන්සේ බැලූ සංඥාව හිඳගනු කැමත්තේ යයි දැන සුගත් මහ සිවුර පණවා දුන්නේය. පණවන ලද ආසනයෙහි වැඩහිඳි කල්හි ඉදිරියෙන් මිනිස්සු හිඳගත්හ. දෙපස හා පිටුපස භික්ෂු සංඝයා ද අහසෙහි දෙවියෝ ද සිටියහ. මෙසේ මහ පිරිස් මැද වූ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූහ.
තෙ භික්ඛු - එහි පිවිසි ධර්ම ප්‍රතිග්‍රාහක භික්ෂූහු. අත්තදීපා - තමා පහනක්, රැකීමක්, පරායණයක් ප්‍රතිෂ්ඨාවක් කොට වාසය කරත් යන අර්ථය වේ. අත්තසරණා - මෙය එහිම පර්යාය වචනයකි. අනිකෙකුට අනිකෙකුගේ පිහිටක් නැත. යනු අනඤ්ඤ සරණ වේ. මෙය අන්‍ය සරණ ප්‍රතික්ෂේප කරන වචන වේ. අනිකෙක් අනිකෙකුට සරණ නොවේ. අනෙකෙකුගේ උත්සාහයෙන් අනෙකකුට සිදු නොවේ. කියන ලදී. තමාගේ නාථයා තමාමය. අන්‍ය වූ නාථයෙක් කොහි වේද? එහෙයින් “අනඤ්ඤ සරණා” යයි කීහ. මෙහි අත්තා කවුරුද? ලෞකික ලෝකෝත්තර ධර්ම වේ. එයින් කීහ: ධම්මදීපා, ධම්මසරණා අනඤ්ඤ සරණා. “කායේ කායානුපස්සී” යයි මහා සතිපට්ඨාන සූත්‍රයෙන් විස්තර කරන ලද්දේය.
ගොචරෙ - හැසිරීමට සුදුසු ස්ථානයෙහි සකෙ - තමා සන්තකයෙහි. පෙත්තිකෙ විසයෙ - පියාගෙන් පැමිණි විෂයෙහි චරතං - හැසිරෙන්නන්ගේ. “චරන්තං” යන පාඨයි. ඒ අර්ථයම වේ. න ලච්ඡති - නො ලබන්නේය. නො බලන්නේය. මාරො - දේවපුත්ත මාර. මෘත්‍යු මාර, කිලෙස මාර තිදෙනා. ඕතාරං - රන්ධ්‍ර. සිදුරු, විවර. මෙය වනාහි මෙහි ගලවැටෙන ස්ථානයෙන් නික්ම තොරණෙහි හිඳ තරුණ හිරුරස් තපින්නේ කැටකුරුල්ලා ගෙනහුන් උකුසු කුරුළු වස්තුව දැක්විය යුතුය.
මහණෙනි, පෙර උකුස්සෙක් වහා බැස කැටකුරුල්ලකු ඩැහැගත්තේය. මහණෙනි, ඉක්බිති කැටකුරුල්ලා උකුස්සා ගෙනයනු ලබන්නේ මෙසේ වැලපුනේය. මගේම අවාසනාව, මගේ පින් අඩුකම මම අගෝචර පර විෂයෙහි හැසුරුනෙමි. ඉදින් අද මම මගේ පියවරුන්ගේ විෂයෙහි හැසිරුනේ නම් උකුස්සාගේ දඬුවමට අසු නොවන්නේය, ලාපය, ඔබේ ගොචර පියාගේ විෂය කොහේද එය මේ නගුලෙන් හාන ලද ගලක් විසිකරන දුර. ඉක්බිති මහණෙනි, උකුස්සා, ස්වකීය බලයෙහි උඩගු නොවී ස්වකීය බලයෙහි හේතු රහිතව කුරුල්ලා මුදා හැරියේය. ලාපය, යව, එහි ගොස් නොමිදෙව,
මහණෙනි ඉක්බිති කැට කුරුල්ලා හාන මැටි තිබෙන ස්ථානයට ගොස් ලොකු මැටි කැටයකට නැගි උකුස්සාගෙන් බේරීමක් නැතිව සිටියේය. උකුස්සා, දැන් එයි දැන් එයි. උකුස්සා සිය බලයෙහි උඩඟු නොවී උභය පක්‍ෂවලින් සන්නදධව කැටකුරුල්ලා ලඟට වහා පැමිණියේය. මහණෙනි, කැට කුරුල්ලා උකුස්සා පැමිණියේ යයි දැන මැටි කැටයේ ඇතුළට පැමිණියේය. ඉක්බිති උකුස්සා ඒ මැටි කැටයේ ම පපුව ගෑවිය. මහණෙනි, මෙය මෙසේ විය.