අධම්මරාගො - මව නැන්දා මවගේ සහෝදරිය. පියාගේ සහෝදරිය ආදීන් කෙරෙහි අයුතු ස්ථානයෙහි රාගය. විසම ලොභො - පරිභොග කටයුතු ස්ථානයෙහි ද අධික ලෝභය. මිච්ඡා ධම්මො - පුරුෂයන්ගේ පුරුෂයන් කෙරෙහි ස්ත්‍රීන්ගේ ස්ත්‍රීන් කෙරෙහි (සමලිඟු රාගය) ඡන්දරාගය.
අමත්තෙය්‍යතා - ආදියෙහි මවට හිත වූයේ මත්තෙය්‍ය වේ. එහි භාවය මත්තෙය්‍යතා වේ. මව කෙරෙහි යහපත් ප්‍රතිපත්තියට මෙය නමකි. එහි අභාවය (නොමැතිවීම ඊට පටහැනි දේද අමත්තෙය්‍යතා - වේ. අපෙත්තෙය්‍යාතාදිසු - අපෙත්තෙය්‍යතාදියෙහි ද මෙම නයමැයි. න කුලජෙට්ඨපචායිතා - කුලයෙහි ජේෂ්ඨයන්ට ගරු නොකිරිම යටත් පහත් පැවැත්මක් නැතිවීම.
යං ඉමෙසං - යම් කලෙක මේවා අලංපතෙය්‍ය - ස්වාමියාට දීමට සුදුසු. ඉමානි රසානි - ලොව මේවා අග්‍ර රසය. අතිව්‍යා දිප්පිස්සන්ති - අතිශයින් බැබළෙන්නේය. අයමෙව වා යනු ද පාඨයකි. කුසලන්තිපි න භවිස්සති - කුසල යන නමද නොවන්නේය. පැණවීම් මාත්‍රයකුදු නොපෙනෙන්නේය යන අර්ථය වේ. පුජ්ජා ච භවිස්සති - පුජාරහ ද ප්‍රශංසාරහද වන්නේය. එකල වනාහි මනුෂ්‍යයෝ අසවල දෙයින් මවට පහර දෙන ලදී. පියාට පහර දෙන ලදී. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගේ ජීවිත තොරකරන ලදී. කුලදෙටුවන් සිටින බවකුදු නොදනී. අන්‍ය පුරුෂයා යයි ඔහුම පුදන්නේය ප්‍රශංසා කරන්නේය. (මෙය ආත්මාර්ථයට බර වූ සමාජයේ ලක්‍ෂණය)
න භවිස්සති මාතාති වා - මේ මගේ මව යයි ගෞරව සිතක් ඇති නොවන්නේය. ගෙදර ගැහැණියක් මෙන් නොයෙක් අසභ්‍ය කථා කියමින් නොසුදුසු ගෙවලට එළඹෙන්නේය. මවගේ සහෝදරි ආදියෙහි මෙම නයම වේ. මෙහි ද මාතුච්ඡා - මවගේ සහෝදරි, මාතුලානි - මාමාගේ බිරිය. ආචරිය භරිය - ශිල්පායතනවල උගන්වන ගුරුවරයාගේ බිරිඳ. ගරූනං දාරා - සුළුපිය මහපිය ආදීන්ගේ බිරිඳ. මිශ්‍ර බව. මරියාදා භෙදං වා - ඉක්මවා හැසිරීමේ භේදය හෝ
තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතොභ විස්සති - බලවත් කෝපය නැවත නැවත හටගත්ය. අපරාති යනු ද මෙයටම සමාන වචනයකි. කොපො වනාහි සිතය. විනාශ කරයි යනු ව්‍යාපාදො - වේ. සිත කිලිටි කිරීම මනොපදොසො - වේ. තිබ්බං වධක චිත්තං - මැරෙන්නාට ද අනුන් මරනු සඳහා වධක සිත් වේ. ඒ වස්තුව දැක්වීමට “මාතාපි පුත්තම්හි” ආදිය දැක්වුහ. මාගවිකස්ස - මුව වැද්දාට
සත්ථන්තර කප්පො - ආයුධයෙන් අතුරු කපයයි. සංවට්ට කල්පයට නො පැමිණ, අතරතුර ලෝක විනාශය. මේ අතුරු කප: දුභික්ෂ අන්තර කල්පය, රෝග අන්තර කල්පය, ආවුධ අනන්තර කල්පය යයි තුන් ආකාරය. එහි ලෝභය උස්සද වූ ප්‍රජාව දුර්භික්ෂ අන්තර කල්පය වේ. මෝහය උස්සන් වූ ප්‍රජාව රෝග අන්තර කල්පය වේ. ද්වේශය උත්සන්න වූ ප්‍රජාව ආවුධ අන්තර කල්පය වේ. එහි දුර්භික්ෂ අන්තර කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ප්‍රේත විෂයෙහි උපදිත්. ආහාර ආශාව බලවත් බැවිනි. රෝග අන්තර කල්පයෙහි විනාශ වූවා බොහෝ සෙයින් ස්වර්ගයෙහි උපදිති. කුමක් හෙයින්ද? ඔවුන්ට වනාහි අනේ අනිත් සත්වයන්ට මෙබඳු රෝගයක් නොවේවායි මෙත් සිත උපදී. ආවුධ අන්තර කල්පයෙහි නටුවෝ බොහෝ සෙයින් නිරයේ උපදිත්. කුමක් නිසාද? ඔවුනොවුන් බලවත් ඝාතනයෙන් යුක්ත නිසා.
මිග සඤ්ඤං - මේ මුවෙකි. මේ මුවෙකි සංඥාව. තිණානි සත්ථානි හත්ථෙ පාතුභවන්ති - ඔවුන්ගේ මනා අත ස්පර්ශ වූ පමණින් යම් කිසිවක් යටත් පිරිසෙයින් තණපතක් උවද ආවුධයක් වන්නේය. මාචමෙහ කොචි - අපගෙන් කිසි එක් පුරුෂයෙකු ද ජීවිතයෙන් තොර නොකරව. මා ච මයං කඤ්චි - අපි කිසි පුරුෂයෙකු ද ජීවිතයෙන් තොර නොකරමු. යන්නුන මයං - මේ ලෝක විනාශය ආරම්භ විය. දෙදෙනෙකුට එකතැන සිට ජීවිතය ගලවාගත නොහැකි යයි මෙසේ සිතූහ. වනගහනං - වන සංඛ්‍යාත පඳුරු වැල් ආදියෙන් ගහන පිවිසීමට අපහසු තැනක්. නදී විදුග්ගං - ගංගා අතර යෑමට අපහසු තැන්. පබ්බත විසමං - පර්වතවලින් විසම වූ තැන්. පර්වතවල හෝ විෂම වූ තැන. සභාගයිස්සන්ති - යම්සේ මම ජීවත් වෙම්ද ඔබද එසේ ජීවත් වන්න යයි මෙසේ සතුටු කථාවෙන් තමාගේ සභාගය කරන්නේය.