2. උදුම්බරික සූත්‍ර වර්ණනාව
මා මෙසේ අසන ලදී යනු උදුම්බරික සුත්‍රයයි. මේ එහි පෙර නොවූ පද වර්ණනාවයි. පරිබ්බාජකො - ඡන්න පිරිවැජියාය. උදුම්බරිකාය පරිබ්බාජකාරාමෙ - උදුම්බරික දේවියට අයත් පිරිවැජි අරමෙහි. සන්ධානො - ඔහුගේ නම වේ. මේ තෙමේ මනා අනුභාව ඇත්තේය. පිරිවර සමග හැසිරෙන්නේය. උපාසකවරුන් පන්සියයකට නායක පුරුෂයාය. අනාගාමි වූවෙකි. භාග්‍යවතුන් වහන්සේ මහ පිරිස් මැද මෙසේ වර්ණනා කරන ලදී.
“මහණෙනි, අංග හයකින් යුක්ත සන්ධාන ගෘහපතියා තථාගතයන් කෙරෙහි නිෂ්ඨාවට ගියේ සද්ධර්මයෙහි පැහැදුනේය. කවර නම් සයකින් ද? බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් ධර්මය කෙරෙහි අචලප්‍රසාදයෙන් සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් ආර්ය සීලයෙන්, ආර්ය ඤාණයෙන්, ආර්ය විමුත්තියෙනි, මහණෙනි, මේ කරුණු හයෙන් යුත් සන්ධාන ගෘහපතියා තථාගතයන් කෙරෙහි නිෂ්ඨාවට ගියේ ධර්මය කෙරෙහි පැහැදුනේය.
හේ අළුයම උපෝෂථාංග අධිෂ්ඨාන කොට පෙරවරුයෙහි බුදුන් ප්‍රමුඛ සංගයාට දන් දී භික්ෂූන් විහාරයට ගිය කල්හි කුඩා දරුවන්ගේ ගෘහස්ථ අයගේ ශබ්දයෙන් කරදරයට පත්ව ශාස්තෲන් සමීපයෙහි ධර්මය අසමියි නික්මෙන්නේ එයින් කියන ලදී. මහ දවල් රජගහ නගරයෙන් නික්මෙන්නේ එහි දිවා දිවස්ස - මධ්‍යහ්නයෙහි නික්මේ. එහි දවල් කාලයද ඉක්ම වූ මධ්‍යම වෙලාවෙහි නික්මුනේය යන අර්ථයයි. පතිසල්ලීනො - ඒ ඒ රූපාදි ගෝචරවලින් සිත වලක්වා සැඟවුනේ ධ්‍යානයෙහි ඇලී සේවනය වශයෙන් ඒකීයභාවයට ගියේය. මනොභාවනීයානං - මනස වඩන්නන්ගේ යම් ආවර්ජනයකින් මෙනෙහි කිරීමෙන් සිත නීවරණ රහිත වූවේ. උසස් වේ. වැඩේ.
උන්නාදිනියා - ආදිය පොට්ඨපාද සූත්‍රයෙහි විස්තර කළ පිළිවෙළින් දත යුතුය.
යාවතා - යම් පමණ. අයං තෙසං අඤ්ඤතරො මෙතෙමේ ඔවුන්ගේ අභ්‍යන්තර එක් ශ්‍රාවකයෙකි. භාග්‍යවතුන් වහන්සේ ගිහි අනාගාමි ශ්‍රාවකයෝ පන්සියයක් රජගහ නුවර වෙසෙති. ඔවුන්ගේ එකිනෙකාට පිරිවර පන්සියය බැගින් වේ. ඔවුන් සඳහා මේ තෙම ඔවුන්ගෙන් එක්කෙනෙකුයි කීය. අප්පෙවනාම - ඔහුගේ පැමිණීම ප්‍රාර්ථනා කරමින් කීය. ප්‍රාර්ථනා කරුණු පොට්ඨපාද සූත්‍රයෙහි කියන ලදමය.
එතදවොච - එන්නේ අතරමග ඔවුන්ගේ කතාව අසන ලද බැවින් මෙය “අඤ්ඤථා ඛො ඉමෙ” යනාදි වචන කීවේය. එහි අඤ්ඤතිත්ථියා දර්ශනයෙන් ද ආකල්පවලින් පැවැත්මෙන්ද ආචාරයෙන් ද විහරණයෙන් ද ඉරියව්වලින් ද අන්‍ය වූ හෙයින් අන්‍ය තීර්ථක වේ. සංගම්ම සමාගම්මා - හිඳින තැන්වල සමූහ වී. අරඤ්ඤෙ වන පත්ථානි - ගම් උවසරින් මිදී දුර සේනාසන. අප්පසද්දානි - වසන උපචාරයෙන් යන්නා වූ මගින්ගේ ද මද ශබ්ද ඇති පන්තානි - ඉතා දුර වූ. අප්පනිග්ඝොසාති - භාවිතා නොකිරීමෙන් මද ගෝසා ඇති. විජිනවාතා - ඇතුළත හැසිරෙන ජනයාට සුළඟ නැති. මනුස්සරාහ සෙය්‍යකානි - මිනිසුන්ගේ රහස් කරුණුවලට යුතු සුදුසු. පටිසල්ලාන සාරුප්පානි - එකඟබව අනුරූප වූ. මෙසේ සන්ධාන ගෘහපතියා අහෝ මාගේ ශාස්තෲවරයා මෙබඳු වු සේනාසනයක් සේවනය කෙරේ යයි ඇඳිලි බැඳ සිරසෙහි තබා මේ උදානය පවත්වමින් සිටියේය.
එවං වුත්තෙ - මෙසේ සන්ධාන ගෘහපතියා විසින් උදානය පවත්වමින් කී කල්හි නිග්‍රෝධ පිරිවැජියා මේ ගෘහපති මා ලඟ ඉඳගෙන ද තමාගේ ශාස්තෲවරයාටම ප්‍රශංසා කරයි. උසස් ලෙස ගුණ වණයි. මම සිටිනවාද කියාවත් නොහඟියි. මොහු කෙරෙහි උපන් කෝපය ශ්‍රමණ ගෞතමයන් මත හෙළන්නෙමියි සන්ධාන ගෘහපතියාට මෙසේ කීය.
යග්ඝෙ - චොදනාර්ථයෙහි නිපාතයකි. ජානෙය්‍යාසි - අවබෝධ කරගන්නේද? බලන්නේද? කෙන සමණෙ ගොතමො සද්ධිං සල්ලපති - කුමන කරුණකින් කුමන පුද්ගලයකු සමග ශ්‍රමණ ගෞතමයෝ කථා කෙරෙත්ද? කියයිද බෙණෙයිද? කුමක් කියන ලද්දේ වේද? ඉදින් කිසියම් කතා කිරීමක් වන්නේ ද එසේ නැතහොත් ශ්‍රමණ ගෞතමයන් ලගට කතා කිරීමට කැමති කිසිවෙක් යන්නේද කතා කරන්නේය. එබඳු කරුණක් නැත. උන්වහන්සේ ලඟට කිසිවෙක් නොයයි. ශ්‍රමණ ගෞතම සමග කතා කරන්නේ කවුද? කතා නොකරන්නේ කෙසේ නාදයක් ඇතිවන්නේද.