11. දසුත්තර සූත්‍රාන්ත වර්ණනාව
දසුත්තර සූත්‍රය මවිසින් මෙසේ අසන ලදී. එහි මේ පෙර අවර්ණිත පද වර්ණනාවයි. ආවුසො භිකඛවො - මෙය ශ්‍රාවකයින්ගේ ආලපනයයි. බුදුවරු වනාහි පිරිස අමතන්නේ “භික්ඛවෝ” යයි කියති. සාවකයෝ ශාස්තෲන් වහන්සේ උස්තැන තබමු යයි ශාස්තෲa ආලපනයෙන් නො අමතා “ආවුසො” යයි අමතති. තෙ භික්ඛු - ධම්ම සේනාපති පිරිවරා හිඳි ඒ භික්ෂූහු. ඒ භික්ෂූහු කවරහුද? අනුබද්ධ වාසයෙන් දිසා ගමනෙහි යෙදුණු භික්ෂූහු. බුද්ධ කාලයෙහි භික්ෂූහු වාර දෙකක් රැස්වෙති. වස් එළඹෙන සමීප කාලයෙහි දහයක් ද විස්සක් ද තිහක් ද හතලිහක් ද පනහක් ද වශයෙන් සමුහ සමූහව කමටහන් ගැනීම සඳහා පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේලා සමග සාමීචියේ යෙදී මහණෙනි, කවර ස්ථානයක් සමීපයේ වස් වෙසෙන්නේහුදැයි විමසති. ඉක්බිති උන්වහන්සේලා කමටහන් පිණිස පැමිණියෙමු. අපට කමටහන් දෙනු මැනවැයි අයදිති.
ශාස්තෲන් වහන්සේ උන්වහන්සේලාගේ චරිත වශයෙන් රාග චරිතයාට අසුභ කමටහන දෙති. දෝස චරිතයට මෙත්තා කමටහන මෝහ චරිතයාට උදෙසීම ප්‍රශ්න ඇසීම සුදුසු කාලයෙහි දහම් ඇසීම, සාකච්ඡා මෙය ඔබට සප්පාය යයි කියති. විතක්ක චරිතයට ආනාපාන සති කමටහන දෙති. සද්ධා චරිතයට ප්‍රසාදනීය සූත්‍රාන්තයකින් බුදුරදුන්ගේ සුබෝධිය, ධර්මයේ සුධර්මතාව, සංඝ සුප්‍රතිපත්ති ද ප්‍රකාශ කරති. ඤාණ චරිතයාට අනිත්‍යාදි ප්‍රතිසංයුක්ත ගැඹුරු සූත්‍රාන්තයක් කියති. උන්වහන්සේලා කමටහන් ගෙන සප්පාය වේ නම් එහිම වෙසෙති. නොවේ නම් සප්පයා සේනාසනයක් විමසා වඩිති. උන්වහන්සේලා එහි වසන්නෝ තුන් මාසයෙහි පිළිවෙතක් ගෙන වීර්ය අන්ත කොට උත්සාහ කරන්නෝ සෝවාන්වත් වෙති. සකදාගාමි ද අනාගාමි ද රහත් ද වෙති.
එයින් විසූ වස් ඇත්තේ වස් පවරා සත්ථු සන්තකයට පැමිණ භාග්‍යවතුන් වහන්ස මම ඔබවහන්සේගෙන් කමටහන් ගෙන සෝවාන් පලයට පැමිණියෙමි. මම අග්‍රපල රහත්වීමයි. ලද ගුණ දන්වති. මෙසේ වස් එළඹීමට පැමිණි භික්ෂූන් ඇවිත් යනවිට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් අග්‍රශ්‍රාවකයන් වෙත යවති. යම්සේ කීහ: “මහණෙනි, සැරියුත් මුගලන් බලන්න.” ඒ භික්ෂූහු අගසව්වන්ගේ දැකීම සඳහා පිටත් කරති, “මහණෙනි, සැරියුත් මුගලන් සේවනය කරන්න භජනය කරන්න. මහණෙනි, සැරියුත් මුගලන් පණ්ඩිතයහ. භික්ෂූන් අනුග්‍රාහකයහ, මහණෙනි, සබ්‍රහ්මචාරීන්ට සැරියුත් යම්සේ මව මෙනි, මුගලන් පෝෂණය කරන පියා මෙනි. මහණෙනි, සැරියුත් සෝවාන් පලයෙහි හික්මවයි. මුගලන් උතුම් අර්ථයෙහි (රහත් ඵලයෙහි) හික්මවයි.
එකලද භගවත්හු මේ භික්ෂූන් සමග පිළිසඳර කතා කොට ඒ භික්ෂූන්ගේ ආසයන් (නිදා ඇති කෙලෙස්) පරීක්ෂා කොට මේ භික්ෂූන් සාවකයන් හික්මවිය යුතු යයි දැක්කහ. සාවකයන් හික්මවිය යුත්තෝ බුදුවරුන් හික්මවිය යුත්තෝ ශ්‍රාවකයන්ට හික්මවිය නොහැක. සාවක වෙනෙය්‍ය බව දැන කවර භික්ෂුවගේ දේශනාවෙන් අවබෝධ වෙත්දැයි බලන්නේ සැරියුත් තෙරුන්ගේ යයි දැක උන්වහන්සේ සමීපයට යැවූහ. ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන් විචාළහ. ඇවැත්නි ශාස්තෲ සමීපයට ගියහුද? එසේය ගියෙමු. ශාස්තෲන් වහන්සේ ඔබවහන්සේ ළඟට එවූහ. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ මේ භික්ෂුහු මගේ දේශනයෙන් අවබෝධකර ගනිති. කෙබඳු දේශනාවක් වටීදැයි සිතන්නේ මේ භික්ෂූහු සමගියට ඇලුනහ. සාමග්ගි රසය දක්වා දේශනාව ඔවුන්ට වටනේ යයි තීරණය කොට එබඳු වූ දේශනාවක් දෙසීමට කැමැත්තේ “දසුත්තරං පවක්ඛාමි” යනාදිය කීහ. එහි මාතෘකා දහය බැගින් තබා බෙදන ලදැයි දසුත්තරො - වේ. ඒකකයේ සිට දසකය දක්වා ගිය නිසාද දසුත්තරො වේ. එක එක කොටසෙහි ප්‍රශ්න දහය බැගින් විස්ස වූයේ ද දසුත්තර වේ. තං දසුත්තරං පවක්ඛාමි - කියන්නෙමි. ධම්මං - සූත්‍රය. නිබ්බාණ පත්තියා - නිර්වාණ ප්‍රතිලාභය සඳහා. දුක්ඛස්සන්තකිරියා - සියළු සසර දුක් කෙළවර කරනු සඳහා සබ්බගන්ථප්පමොචනං - අභිධ්‍යා කාය ග්‍රන්ථාදි සිය ග්‍රන්ථ මිදීම සඳහා.
මෙසේ දේශනා උසස් කරන්නේ එහි භික්ෂූන්ගේ ආදරය උපදවන්නේ මෙය මෙසේ උගත යුතුය. පුහුණු කළ යුතුය. ධාරණය කළයුතුය කිව යුතුය සිතන්න යයි සතර පදයකින් වර්ණනා කළහ. “එකායනො අයං භික්ඛවෙ මග්ගො” යනාදි නයින් ඒ ඒ සූත්‍රවලින් භාග්‍යවතුන් වහන්සේ මෙන්.
එහි බහුකාරො - බොහෝ උපකාර,
භාවෙතබ්බො - වැඩිය යුතුය
පරිඤ්ඤෙය්‍යො - පරිඤ්ඤා තුනකින් දැනගත යුතුය.
පහාතබ්බො - පහාණානුපස්සනාවෙන් දුරුකළ යුතුය.
හානභාගියො - අපායගාමී පිරිහීම පවතින.
විසෙසභාගිය - විසේසගාමී විසේසය පිණිස පවතින.