මෙසේ පංචක වශයෙන් සාමග්ගි රසය දක්වා දැන් ඡක්ක වශයෙන් දැක්වීමට නැවත දේශනාව ආරම්භ කළහ. එහි අජඣත්තිකානි - අජඣත්ත තමා. අජඣතතිකානි - තමාට අයත්වන බාහිරානි - ඒ අධ්‍යාත්මයෙන් බාහිර වූ. විස්තර වශයෙන් වනාහි විසුද්ධි මග්ගයෙහි ආයතන කථාවල කියන ලදී. විඤ්ඤාණ කාය - විඤ්ඤාණ සමූහය. චක්ඛු විඤ්ඤාණං - චක්ඛු ප්‍රසාදය නිශ්‍රිත කුසල අකුසල විපාක විඤ්ඤාණය. සියළු තැන මෙම නයයි. චක්ඛුසම්ඵස්ස - චක්ඛු සන්නිස්සිත ඵස්ස. සොත සමඵස්සාදිය ද මෙසේය. මනෝ සම්ඵස්සො - මේ සම්ඵස්ස දහය හැර සෙසු සියල්ලට මනෝ සම්ඵස්ස නම් වේ. වෙදනා ඡක්කයෙහි ද මේ නයින්ම දත යුතුය. රූපසඤ්ඤා - රූපය අරමුණුකර උපන් සංඥාව. මේ උපායෙන් සෙස්ස ද දත යුතුය. චෙතනා ඡක්කය ද මෙම නයයි. එසේම තණ්හා ඡක්කයෙහි.
අගාරවො - ගෞරව නැතිව. අප්පතිස්සො මෙහි වනාහි යම් භික්ෂුවක් ශාස්තෲන් ධර්මාන කාලයෙහි තුන් කාලයෙහිම උපස්ථානයට නොයයි. බුදුහිමි වහන් නැතිව සක්මන් කරන විට වහන් ඇතිව සක්මන් කරයි. පහත් මළුවෙහි සක්මන් කරන කල්හි උඩමලුවෙහි සක්මන් කරයි. පහත වසන විට උඩ වසයි. දකින ස්ථානයේ උභයාංශ කරයි. කුඩ දරයි. වහන් දරයි. ස්නානය කරයි. මල මූ කරයි. පිරිනිවන් පෑ කල්හි චේතිය පෙනෙන තැන බුදුන් දකින තැන කී සියල්ලම කරයි. මෙය ශාස්තෲන්ට අගෞරවය නම් වේ. යමෙක් ධර්ම ඝෝෂා කළ කල්හි සකසා නොයයි. සකසා නො අසයි. කථා කරමින් හිඳියි. සකසා නොගනී. නොකියයි. මෙය ධර්ම අගෞරවයයි. යම් භික්ෂුවක් ස්ථවිර භික්ෂුව විසින් නොඅනු දන්නා ලද දහම් දෙසයි. හිඳගනියි. ප්‍රශ්න කියයි. වැඩිමහල් භික්ෂූන් හා ගැටෙමින් යයි. සිටියි. හිඳියි. සිවුරෙන් පල්ලත්ථිකා කරයි. සඟමැද උභයාංශ කරයි. සත් වහන් (කුඩ සෙරෙප්පු) දරයි. මෙය සංඝ අගෞරවයකි. ත්‍රිවිධ ශික්ෂා නොපිරීම ශික්ෂා අගෞරවය වේ. අප්‍රමාදය නොවැඩීම අප්‍රමාදයෙහි අගෞරවයයි. ද්විධ පටිසන්ථාරය නොකිරීම පටිසන්ථාර අගෞරවයයි. සොමනස්සුපවිචාර, සොම්නස් යුත් විචාරයයි.
සොමනස්සට්ඨානීයං - සොම්නසට හේතු වූ. උපවිචරති - සිතින් සිතා විචාරයෙන් තීරණය කරයි. දිට්ඨිසාමඤ්ඤගතො - මේ පදයෙන් වනාහි කොසම්බක සූත්‍රයෙහි පළමු මාර්ගය කියන ලදී. මෙහි මාර්ග සතරම.
විවාද මූලානි - විවාදයට මුල් වූ. කොධනො - කිපෙන ලක්ෂණයේ ක්‍රෝධයෙන් යුක්ත වූ උපනාහී - වෛරය අත්නොහැරිය ලක්‍ෂණ උපනාහයෙන් යුක්ත වූ. අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං - භික්ෂූන් දෙනමකගේ විවාද කථා දෙව්මිනිසුන්ගේ අහිත පිණිස දුක් පිණිස පවතී. කොසම්බක්ඛන්ධකයෙහි මෙන් භික්ෂූන් දෙනමක් විවාදයට පැමිණි කල්හි ඒ විහාරයෙහි ඔවුන්ගේ අතවැසියෝ විවාද කරත්. ඔවුන්ගේ අවවාද ගන්නා භික්ෂුණීහු වාද කරති. එයින් ඔවුන්ගේ උපස්ථායකයෝ විවාද කරති. ඉක්බිති මිනිසුන්ගේ ආරක්ෂක දේවතාවෝ කොටස් දෙකක් වෙති. එහි ධම්මවාදීන්ගේ ආරක්‍ෂක දෙවියන්ගේ මිත්‍ර භූමි දෙවියෝ බෙදෙති. මෙසේ පරම්පරාවෙන් ආර්යභූමිය හැර බ්‍රහ්ම ලෝකය දක්වා බෙදෙති. අධම්මවාදීහු බොහෝ වෙති. ඉක්බිති බොහෝ දෙනා විසින් ගන්නා ලද එය සත්‍ය (තච්ඡන්ති) යයි ධර්මය අත්හැර අධර්මය ගනිති. ඔව්හු අධර්මය පෙරටුව හැසිරෙන්නෝ අපායවල උපදිති. මෙසේ භික්ෂූන් දෙනමගේ විවාදය දෙව්මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පවතී.
අඡඣත්තං වා - ඔබගේ අභ්‍යන්තර පිරිසේ. බහිද්ධා - පර පිරිසේ
මක්ඛී - අනුන්ගේ ගුණ මකන ලක්‍ෂණයෙන් මැකීමෙන් යුක්ත වූ පලාසී - යුගග්ගාහ (එකට එක කිරීම) ලක්‍ෂණයෙන් යුත් පලාසයෙන්. ඉසසුකී - පර සත්කාර ආදි නොඉවසන ලක්‍ෂණයෙන් යුත්. මච්ඡරී - ආවාස මසුරුකම් ආදී. සඨො - කයිරාටික. මායාවී - කරන ලද පාපය සඟවන. පාපිච්ඡො - දුස්සීල. විච්ඡාදිට්ඨි - නාස්තිවාදී, අහේතුවාදී, අකිරියවාදී, සන්දිට්ඨි පරාමාසි - තමන් දුටුදේම ස්පර්ශ කරයි. ආධාන ගාහී - දෘඩගාහී. දුප්පටිනිස්සගනී - ගත් දේ අත්හළ නොහැකි.