දුක්ඛ දුක්ඛතා - දුක් වූ දුක් බව මෙය වේදනාවට නමකි. සංඛාර දුක්ඛතා - සංස්කාර භාවයෙන් දුක් බව. අදුක්ඛමසුඛ වේදනාවට මෙය නමකි. එය වනාහි සංඛ්‍යාත බැවින් උත්පාද ජරා බිඳීම්වලින් පෙළෙන බව, එහෙයින් අන්‍ය දුක්ඛ ස්වභාවයකින් විරහිත වූ සංසාර දුක්ඛ කියන ලදී. විපරිනාම දුක්ඛතා - වෙනස්වීමේ (විපරිනාම) දුක් බව, සුඛ වේදනාවට මෙය නමකි. සැපයේ වෙනස්වීමේ දී දුක් උපදී. එහෙයින් සැපය විපරිනාම දුක්බව යයි කියන ලදී. තවද දුක් වේදනාව හැර සැප වේදනාව ද සියළු ත්‍රෛභූමික ධර්ම “සබ්බෙ සංඛාරා දුක්ඛා” යන වචනයෙන් සංඛාර දුක් යයි දත යුතුය.
මිච්චත්ත නියතො - මිථ්‍යා ස්වභාවය නියතය. නියත මිථ්‍යාදෘෂ්ටිය සමග ආනන්තරිය කර්මයට මෙය නමකි. සම්‍යක් ස්වභාවයෙහි නියතය සම්මත නියත්තා - සිව් අරිය මගට මෙය නමකි. න නියතො - අනියතය. අවසේස ධර්මවලට මෙය නමකි.
“තයොතමා” මුළාව අඳුරයි. අවිද්‍යා ඕඝය මහබියකි” යන වචනයෙන් අවිද්‍යාව තම (අඳුර) නම් වේ. මෙහි වනාහි අවිජ්ජා ශීර්ෂයෙන් විචිකිච්ඡාව කියන ලදී. ආරම්හ - පැමිණ. කංඛතී - සැකය උපදවයි. විචිකිච්ඡති - සොයන්නේ දුකට පැමිණේ. තීරණය කිරීමට නොහැකි වේ. නාධිමුච්චති - එහි මිදීමට තීරණය කිරිමට නොහැකි වේ. න සම්පසීදති - එය ඇරබ ප්‍රසාදය ආරෝපනය නොහැකි වේ.
අරක්ඛ්‍යොති - රැකිය යුතු නොවේ. තිදොරෙහි වෙනම රකින කිසක් නැත. සියල්ලම සිහියෙන් රකින ලදැයි දක්වයි. නත්ථි තථාගතස්ස - මෙය නම් මට වහා ඉපදුණ කාය දුසිරිත අන් අයට දැනගැනීමට නොදී රකිමි වසමියි මෙසේ රැකිය යුතු කාය දුසිරිතක් තථාගතයන් වහන්සේට නැත. සෙස්සෙහි ද මෙම නය වේ. කිම සෙසු ක්ෂීණාශ්‍රවයන්ගේ කාය සමාචාරාදිය අපිරිසිදුවේද? අපිරිසිදු නොවේ. තථාගතයන් වහන්සේ මෙන් පිරිසිදු නැත. අල්පශ්‍රැත ක්ෂීණශ්‍රවයන් වහන්සේ ද කිසිදු ලෝක වැරැද්දකට නොපැණේ. පැණ වූ ගිහි වනාහි අදක්ෂ බැවින් විහාර කිරීම, කුටි කිරීම, සහකාරයන්, සහසෙය්‍ය එබඳු වූ කාය ද්වාරයෙහි ආපත්තියට පැමිණේ. සංචරිත්ත, පදසො ධම්ම, උත්තරිං ඡප්පඤ්ච වාචං වූ දෙයක් දැන්වීම් වශයෙන් මනෝ ද්වාරයෙහි රූපිය පටිග්ගහණ ආපත්තියට පැමිණේ. ධම්ම සේනාපති වැනි ක්ෂීණාශ්‍රවයන්ට ද මනෝ ද්වාරයෙහි දෝෂාරෝපණ වශයෙන් මනෝ දුසිරිත් උපදී.
චාතුම වස්තුවෙහි සැරියුත් මුගලන් දෙනමගේ අතවැසි භික්ෂුහු බුදුන් වහන්සේ විසින් නෙරපන ලද වූ අවස්ථාවක, සැරියුත් හිමියන්ට කුමන අදහසක් ඇතිවීදැයි බුදුහිමි ඇසුයේය. එවිට සැරියුත් සඳහන් කෙළේ මින්පසු අන්‍යයන්ට උපදෙස් දෙන්නේ නැත. අනුසාසනා කරන්නේ නැත යන සිතක් ඉපදුණු බවය. බුදුහිමි භික්ෂුහු නෙරපනු ලැබූ කල්හි මඳ උත්සාහ ඇති නිසා බුදුහිමි දිට්ඨධම්ම සැප විහරණයෙන් වාසය කරන්නේය. අපි ද මද උත්සාහ ඇති නිසා දිට්ඨධම්ම සැපවිහරණයෙන් වාසය කරන්නෙමු ඒ මනෝ දුසිරිතෙහි දෝෂාරෝපනය ආරෝපනය කරමින් බුදුහිමි, “අනුන්ට අවවාද අනුසාසනා කරන්නේ, නැතැයි නැවත එබඳු සිතක් ඉපදවීමට බලාපොරොත්තු වන්නෙහි දැයි ඇසීය.
තර්ක මාත්‍රයකින් සැරියුත් හිමිට මනෝ දුසිරිතක් ඇතිවිය. භාග්‍යවතුන් වහන්සේට වනාහි එපමණකුදු නැත. සර්වඥතා ඥානයට පැමිණියහුට දුසිරිතක් නොවෙන්නේය යන මෙය ආශ්චර්ය නොවේ. බෝධි සත්ව භූමියේ සිටියේ සාවුරුදු දුෂ්කර ක්‍රියා සමයෙහි ද නොවීය. උදරයේ සම පිට කොඳු ඇට ඇලීයෑමෙන් ශ්‍රමණ ගෞතමයන් කළුරිය කෙළේ යයි සැක ඇති වූ කල්හි ද “සිද්ධාර්ථ කුමට ක්ලාන්ත වෙනවද? ආහාර ගෙන පින්කළ හැකියයි” මාරයා කියන කල්හි ද ආහාර ගනිමියි සිතිවිල්ලක්වත් නූපන්නේය. ඉක්බිති මාරය බෝසත් කාලයේ ඒ අවුරුදු හය ද බුදු වූ පසු එක් අවුරුද්දක් ද ලුහුබැඳ කිසි වරදක් නොදැක මෙය කියා ගියේය.
සත් වසක් ලුහුබැඳ - බගවත් පිය’නුපියනුව
නොලදිමි කිසි දොසක් - සිරිමත් සම්බුදුන්ගේ
නොලදිමි කිසි දොසක් - සිරිමත් සම්බුදුන්ගේ
තවද අටළොස් බුදු දහම් වශයෙන් ද භාග්‍යවතුන් වහන්සේගේ දුසිරිත් අභාවය දත යුතුය. අටළොස් බුදු දහම් නමි. තථාගතයන් වහන්සේගේ කාය දුසිරිත් නැත. වාක් දුසිරිත් නැත. මනෝ දුසිරිත් නැත. අතීත, අනාගත, වර්තමාන කාලවල තථාගතයන්ගේ නොපැකිලෙන ඤාණය බුදුරදුන්ගේ සියළු කාය කර්ම ඤාණයට අනුව සකස් වේ. සියළු වාක් කර්ම සියළු මනෝ කර්ම ඤාණයට අනුව සකස් වේ. කැමැත්තට හානි නැත. වීර්යට හානි නැත. සිහියට හානි නැත. ක්‍රීඩා නැත. ශබ්ද නැත. දෝෂ නැත. හදිසි නැත. නොයෙදුණු මනසක් නැත. අකුසල සිතක් නැත.