කාම තණ්හා - පංචකාම ගුණික රාගයයි. රූපාරූප භවවල වනාහි රාගය - ධ්‍යාන ලෝභයයි. ශාස්වත දෘෂ්ටි සහගත් රාගය භව වශයෙන් ප්‍රාර්ථනාව ද භව තෘෂ්ණා වේ. උච්ඡේද දෘෂ්ටි සහගත රාගය විභව තණ්හා වේ. තවද අවසන් තෘෂ්ණා දෙක හැර සෙසු තෘෂ්ණා කාම තණ්හා - නම් වේ. යම්සේ කීහ. එහි භව තණ්හාව කවරේද? භව දෘෂ්ටි සහගත රාගය, සිත රාග සහිතවීම, මෙය භව තණ්හාව යයි කියනු ලැබේ. එහි විභව තණ්හාව කවරේද? උච්ඡේද දෘෂ්ටි සහගත රාගය භව වශයෙන් පතන සිතේ ඇතිවන රාගය විභව තණ්හාව යයි කියන ලදී. අවසේස තෘෂ්ණා කාම තණ්හා වේ. නැවත කාම තණ්හා ආදියෙහි පංච කාම ගුණික රාගය කාම තණ්හා වේ. රූපරූප භවවල, ඡන්ද රාගය ඉතිරි තණ්හා දෙක වේ. අභිධර්මයෙහි මෙසේ විස්තර කරන ලදී: “කාමධාතු පටිසංයුත්ත.....අරූපධාතු පටිසංයුත්ත” වශයෙනි. මේ වාරයෙහි කුමක් දැක්වීද? සියළු ත්‍රෛභූමික ධර්ම, ඇලීම් අර්ථයෙන් තෘෂ්ණා වස්තු වේ. සියළු කාම තෘෂ්ණාව අල්ලාගෙන එයින් ගෙන ඉතිරි තණ්හා දෙක දැක්වීය. රූප තණ්හා - රූප භවයෙහි ඡන්දරාගය රූප තණ්හාවය. අරූප භවයෙහි ද එසේය.
සංයෝජන - සසරෙහි යොදයි බඳියි යනු - සංයොජනා - වේ. රූපාදියෙ දි ඇති කල්හි කයෙහි ඇති දෘෂ්ටිය කයෙහි දෘෂ්ටිය විද්‍යාමාන වූයේ හෝ සක්කාය දිට්ඨි - වේ. විමසීම මෙහි කෘත්‍ය වේ. තීරණය කිරිමට නොහැකි වේ යන විචිකිච්ඡා - වේ. සීලය ද ව්‍රතය ද පරාමර්ශනය කරයි යනු සීලබ්බත පරාමාස - වේ. අර්ථ වශයෙන් රූපය ආත්ම වශයෙන් බලයි යනාදි වශයෙන් පැමිණි වස්තු වියෙහි පවත්නා දෘෂ්ටිය සක්කාය දිට්ඨි වේ. ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරේ ආදි නයින් අෂ්ට වත්ථු කෙරෙහි විමතිය විචිකිච්ඡා - නම් වේ. මෙහි ඇතැමෙක් සීලයෙන් සුද්ධි ව්‍රතයෙන් ශුද්ධි සීලව්‍රතයෙන් සුද්ධි යයි සීලය පරාමර්ෂණය කරයි. ව්‍රතය පරාමර්ෂණය කරයි. මෙබඳු වූ දෘෂ්ටිය දිට්ඨගත යයි ආදි නයින් ආවා වූ විපර්යාශ ගැනීම සීලබ්බත පරාමාස වේ.
තයො ආසවා - මෙහි බොහෝ කලක් විසීය යන අර්ථයෙන් හෝ වැගිරේය යන අර්ථයෙන් හෝ ආසවා - වේ. මහණෙනි එහි ආරම්භය මුල නොපෙනේ. අවිද්‍යාව මෙයින් පෙර නොවුයේ යයි ඉන් පසුව ඇති වී යයි මුල්කොන නොපෙනේ. භව තෘෂ්ණාව, භවදෘෂ්ටිය මෙයින් පෙරභව දෘෂ්ටිය නොවීය. ඉක්බිති පසුව සමව වූයේ යයි මෙසේ බොහෝ කාලයක් විසීය යන අර්ථයෙන් ආසව - දතයුතුය. ඇසින් රූපයෙහි වැගිරේ. පවත්වයි කනින් ශබ්දයෙහි නාසයෙන් ගඳ සුවඳෙහි දිවෙන් රසයෙහි කයින් ස්පර්ශයෙහි මනසින් සිතිවිලිවල වැගිරේ ගලයි පවත්වයි යන මෙසේ වැගිරේ යන අර්ථයෙන් ආසව - දතයුතුය.
පෙළෙහි වනාහි කිසියම් ආසව දෙකක් දිට්ඨ ධම්මික සම්ප්‍රදායික වශයෙන් ආවේය. කිසිතැනක “මහණෙනි, කාමාසව භවාසව අවිජ්ජාසව යයි ආසව තුනකි” අභිධර්මයෙහි ඒ ආසව දිට්ඨාසව සමග හතරකි. නිබ්බෙධික ක්‍රමයෙහි, “මහණෙනි, නිරයගාමී ආසව ඇත, තිරච්ඡානගාමී ආසව ඇත, ප්‍රේත විෂය ගාමී ආසව ඇත, මනුෂ්‍ය ලෝකගාමී ආසව ඇත, දේව ලෝකගාමී ආසව ඇතැ”යි මෙසේ පහක්. ඡක්ත නිපාතයෙහි ආහුනෙය්‍ය සූත්‍රයේ “මහණෙනි, සංවරයෙන් පහකළ යුතු ආසව ඇත, සේවනය කිරීමෙන් පහකළයුතු ආසව ඇත, දුරු කිරීමෙන් පහකළ යුතු ආසව ඇත. ඉවසීමෙන් පහකළ යුතු ආසව ඇත, අත්හැරීමෙන් (විනොදනා) පහකළ යුතු ආසව ඇත, භාවනාවෙන් පහකළයුතු ආසව ඇතැයි මෙසේ හයක්. සබ්බාසව පරියායෙහි ඒවා දර්ශනයෙන් පහකළයුතු ආසව සමග හතකි. මේ සංගීති සූත්‍රයෙහි තුනකි. එහි යමෙක් කාමයන්හි කාම අදහස ඇතිව මෙසේ කියන ලද පංචකාම ගුණික රාගය කාමාසව - නමි. යමෙක් භවයෙහි භව කැමැත්තේ මේ කියන ලද සාස්වත දිට්ඨි සහගත රාගය භව වශයෙන් ප්‍රාර්ථනා භවාසව - නමි. දුකෙහි නොදැනීම ආදි නයින් පැමිණි අවිද්‍යාව අවිජ්ජාසව නම් වේ.