මෙසේ ඒකක වශයෙන් සාමග්ගි රසය දක්වා දැන් දුක වශයෙන් දැක්වීමට නැවත දේශනය ඇරඹීය. එහි නාමරූප දෙකෙහි - නාමං - සතර අරූප ස්කන්ධ සහ නිවනය. එහි සතර ස්කන්ධ නාම අර්ථයෙන් නාම වේ. “නාමනට්ඨෙන” නම් කරන අර්ථයෙන් නාම වේ. මහජන සම්මතයෙන් වේ. මහජන සම්මතයට මහා සම්මතයයි නම් විය. මව්පියෝ මොහුට තිස්ස නම වේ. ඵුස්ස නම වේවයි මෙසේ පුතාට කීර්ති නමක් කරති. ධම්මධර විනයධර යයි ගුණ වශයෙන් නම් එයි. වේදනාදියට මෙසේ නොවේ. මහා පඨවි ආදිය මෙන් තමා නම් කරමින් පහළ වේ. ඒවා පහළ වූ විට ඒවායේ නම් පහළ වේ. වේදනාවක් ඇති වූ විට ඔබ වේදනාව යයි කිසිවෙක් නොකියයි. එයට නම් තබන සිරිතක් නැත. පොළොව පහළ වූ විට ඔබ පොළොව යයි නම් තබන කෙනෙක් නැත. සක්වල මහමෙර සඳහිරු නකත් තරු පහළ වු විට ඔබ සක්වල නම් නකත් නමි යයි නම් තබන කිසක් නැත. නම ඉපදීමෙන්ම (පහළවීමෙන්ම) වේ. ඕපාතික පහළ වීමය. එසේම වේදනාව ඇති වූ විට ඔබ වේදනාව නම් වේ යයි නම් තබන කිසක් නැත. වේදනාව ඇතිවීමෙන් නාමය ද ඇතිවේ. සඤ්ඤාදියෙහි ද මෙම නයයි. අතීතයෙහි ද වේදනා වේදනාමය. සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ද එසේය. අනාගතයෙහි ද වර්තමානයෙහි ද එසේය. නිර්වාණය සදහටම නිර්වාණම වේ. මෙසේ නම්කරන අර්ථයෙන් නාම වේ. නම් කරන අර්ථයෙන් මේ සතර ස්කන්ධ වේ. ඒවා අරමුණට අභිමුව නැමේ. සියළු නම් කරන අර්ථයෙන් මේ සතර ස්කන්ධ වේ. ඒවා අරමුණට අභිමුව නැමේ. සියළු නම් නම අර්ථයෙන්ම වේ. ස්කන්ධ සතර අරමුණෙහි ඔවුනොවුන් නැමේ. නිවන අරමුණු අධිපති ප්රත්ය බැවින් තමා කෙරෙහි අනවද්ය ධර්මයෙහි නැමේ.
රූපං - මහාභූත සතර ඒවායේ උපාදාය රූප සතර යන ඒ සියල්ල රුප්පන (වෙනස්වන) අර්ථයෙන් රූප වේ. සෙසු විස්තර කථා විසුද්ධි මාර්ගයෙහි කී නයින් දත යුතුය.
අවිජ්ජා - දුක්ඛාදියෙහි නොදැනීම. මෙහි විස්තර ද විසුද්ධි මග්ගයේ කියන ලදී. භවතණ්හා - භව ප්රාර්ථනයයි. එහි භව තණ්හාව කවරේද? යමෙක් භවයෙහි භව කැමත්ත
භවදිට්ඨිය ද භවයෙහි තමාද ලෝකය ද වන්නේය යන දෘෂ්ටියයි. එය සාස්වත වශයෙන් උපදින දෘෂ්ටියයි. විභව දිට්ඨි - විභව යනු උච්ඡේද දෘෂ්ටියයි. එයද එහි විභව දෘෂ්ටිය කවරේද? තමාද ලෝකය ද නොවන්නේය යන මෙබඳු දෘෂ්ටි, දෘෂ්ටි ගත යයි ආදි නයින් අභිධර්මයෙහි විස්තර කරන ලදී.
අහිරිකං - ලජ්ජා විය යුත්තෙහි ලජ්ජා නොවන්නේ යයි මෙසේ විස්තර කරන ලදී. අනොත්තප්ප - බියවිය යුත්තෙහි බිය නොවන්නේ යයි මෙසේ විස්තර කරන ලද බිය නැති ආකාරයයි.
හිරිච ඔත්තප්පං - ලජ්ජා විය යුත්තෙහි ලජ්ජා වීම බිය විය යුත්තෙහි බියවීම යයි මෙසේ විස්තර කරන ලදී. තවද එහි ආධ්යාත්ම හට ගැනීම ලජ්ජාය. බාහිර හට ගැනීම බියය. තමා අධිපති කොට ඇත්තේ ලජ්ජාවය. ලෝකයා අධිපති කොට ඇත්තේ බියය. විස්තර කථා වනාහි සියළු ආකාරයෙන් විසුද්ධි මාර්ගයෙහි කියන ලදී.
දොවචස්සතා - දුක් වූ වචනය මොහු කෙරෙහි යයි අනුකූල නොවූ ගැනීම සැපයට විරුද්ධ වූ අනාදර පුද්ගලයා කෙරෙහි දුර්වචවේ. ඔහුගේ ක්රියාව දොවචස්ස වේ. එහි භාවය දොවචස්සතා වේ. විස්තර වශයෙන් මෙහි දොවචස්සතා කවරේද? එකට හැසිරෙන අප (සහ ධමමික) කියන කල්හි නොඇසීමෙන් යයි අභිධර්මයෙහි ආවේය. එය අර්ථ වශයෙන් සංඛාර ස්කන්ධය. පාපමිත්තතා - පාප අශ්රද්ධාදි පුද්ගලයෝ, මොහුගේ මිත්රයෝය යනු පාපමිත්ත වේ. විස්තර වශයෙන් මෙය එහි පාපමිත්තා කවරේද? යම් පුද්ගලයෙක් අශ්රද්ධා ද දුස්සීල ද අල්පශ්රැත ද මසුරු ද ලෝභද මෝඩ ද යමෙක් ඔහු ආශ්රය කෙරේද සෙව්නේ ද භජනය කෙරේද ඔහු වේ. අර්ථ වශයෙන් දොවචස්සතා මෙනි.