අයං ඛො ආවුසො - ඇවැත්නි අපගේ ශාස්තෲන් වහන්සේ මහබෝමැඩ හිඳ තෙමේ සර්වඥ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට මේ ඒක ධර්මය දේශනා කළහ. මේ ඒක ධර්මය ඔබලා විසින් සංගායනා කළ යුතුය. විවාද නොකළ යුතුය. යථා ඉදං බ්‍රහ්මචරියං - ඔබ විසින් සංගායනා කරනු ලබන මේ සාසන බ්‍රහ්ම චර්යාව දිගු කලක් ස්ථිරව පවතින්නේය, එක් භික්ෂුවක් විසින් ඇවැත්නි, මනාව දේසිත එක් ධර්මයක් ඇත. කවර එක් ධර්මයක්ද? සියළු සත්වයෝ ආහාර නිසා පවතී. සියළු සත්වයෝ සංඛාර නිසා පවතී යයි කී කල්හි ඒ කථාව අසා තව භික්ෂු කෙනෙක් කියන්නේය. එය අසා තවකෙනෙක් මෙසේ පරම්පරා නියමයෙන් මේ බ්‍රහ්ම චර්යාව බොහෝ කලක් පැවතෙමින් දෙවියන් සහිත ලෝකයාගේ ප්‍රයෝජන පිණිස දියුණුව පිණිස වන්නේ යයි ඒකක වශයෙන් දම්සෙනවි සැරියුත් මහ රහත් සාමග්ගි රසය දැක්වූහ.
ඒකකය නිමි.
මෙසේ ඒකක වශයෙන් සාමග්ගි රසය දක්වා දැන් දුක වශයෙන් දැක්වීමට නැවත දේශනය ඇරඹීය. එහි නාමරූප දෙකෙහි - නාමං - සතර අරූප ස්කන්ධ සහ නිවනය. එහි සතර ස්කන්ධ නාම අර්ථයෙන් නාම වේ. “නාමනට්ඨෙන” නම් කරන අර්ථයෙන් නාම වේ. මහජන සම්මතයෙන් වේ. මහජන සම්මතයට මහා සම්මතයයි නම් විය. මව්පියෝ මොහුට තිස්ස නම වේ. ඵුස්ස නම වේවයි මෙසේ පුතාට කීර්ති නමක් කරති. ධම්මධර විනයධර යයි ගුණ වශයෙන් නම් එයි. වේදනාදියට මෙසේ නොවේ. මහා පඨවි ආදිය මෙන් තමා නම් කරමින් පහළ වේ. ඒවා පහළ වූ විට ඒවායේ නම් පහළ වේ. වේදනාවක් ඇති වූ විට ඔබ වේදනාව යයි කිසිවෙක් නොකියයි. එයට නම් තබන සිරිතක් නැත. පොළොව පහළ වූ විට ඔබ පොළොව යයි නම් තබන කෙනෙක් නැත. සක්වල මහමෙර සඳහිරු නකත් තරු පහළ වු විට ඔබ සක්වල නම් නකත් නමි යයි නම් තබන කිසක් නැත. නම ඉපදීමෙන්ම (පහළවීමෙන්ම) වේ. ඕපාතික පහළ වීමය. එසේම වේදනාව ඇති වූ විට ඔබ වේදනාව නම් වේ යයි නම් තබන කිසක් නැත. වේදනාව ඇතිවීමෙන් නාමය ද ඇතිවේ. සඤ්ඤාදියෙහි ද මෙම නයයි. අතීතයෙහි ද වේදනා වේදනාමය. සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ද එසේය. අනාගතයෙහි ද වර්තමානයෙහි ද එසේය. නිර්වාණය සදහටම නිර්වාණම වේ. මෙසේ නම්කරන අර්ථයෙන් නාම වේ. නම් කරන අර්ථයෙන් මේ සතර ස්කන්ධ වේ. ඒවා අරමුණට අභිමුව නැමේ. සියළු නම් කරන අර්ථයෙන් මේ සතර ස්කන්ධ වේ. ඒවා අරමුණට අභිමුව නැමේ. සියළු නම් නම අර්ථයෙන්ම වේ. ස්කන්ධ සතර අරමුණෙහි ඔවුනොවුන් නැමේ. නිවන අරමුණු අධිපති ප්‍රත්‍ය බැවින් තමා කෙරෙහි අනවද්‍ය ධර්මයෙහි නැමේ.
රූපං - මහාභූත සතර ඒවායේ උපාදාය රූප සතර යන ඒ සියල්ල රුප්පන (වෙනස්වන) අර්ථයෙන් රූප වේ. සෙසු විස්තර කථා විසුද්ධි මාර්ගයෙහි කී නයින් දත යුතුය.
අවිජ්ජා - දුක්ඛාදියෙහි නොදැනීම. මෙහි විස්තර ද විසුද්ධි මග්ගයේ කියන ලදී. භවතණ්හා - භව ප්‍රාර්ථනයයි. එහි භව තණ්හාව කවරේද? යමෙක් භවයෙහි භව කැමත්ත