ධාතුවිස්සජ්ජනාවාරවණ්ණනා
නිද්දේස වාරයේ වනාහි කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති යයි පෘථග්ජන වශයෙන් කියන ලදි. කස්සචි පඤ්චාති යයි සොතාපන්න සකදාගාමි වශයෙන් කියන ලදි. ඔවුන්ගේ වනාහි දිට්ඨ අනුසය සහ විචිකිච්ඡා අනුසය ප්‍රහීන යයි පහක්ම පවතී. එහි යම්සේ අනුසය වාරයෙහි පවතී යයි යන පදයේ උපදී යයි යන අර්ථය ගන්නා ලදි. මෙසේ මෙහි නොගත යුතුය. කුමක් හෙයින්ද? ඒ ක්‍ෂණයෙහි නූපදීම් වශයෙනි. කාමධාතුවේ උපදින්නාට විපාක සිත මෙන්ම කම්ම සමුට්ඨාන රූපද උපදී. අකුසල සිත නැත. අනුසය ද අකුසල චිත්ත ක්‍ෂණයෙහි උපදී. විපාක චිත්තක්‍ෂණයෙහි නොවේ යයි ඒ ක්‍ෂණයෙහි නො ඉපදීම් වශයෙන් එසේ අර්ථ නොගත යුතුය. කෙසේ නම් ගතයුතුද? යම්සේ ලබයිද එසේ ගතයුතුය. කෙසේ ලබයිද? අප්‍රහීනාර්ථයෙන්. යම්සේ ලබයිද එසේ ගතයුතුය. කෙසේ ලබයිද? අප්‍රහීනාර්ථයෙන්. යම්සේ රාග දෝස මෝහ අප්‍රහීන බව. කුසල අබ්‍යාකත චිත්ත සමංගි පුද්ගලයා රාග සහිත දෝස සහිත මෝහ සහිත යයි කියනු ලැබේ. මෙසේ මාර්ග භාවනාවෙන් අප්‍රහීන වූ බැවින් ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි ඒ ඒ පුද්ගලයන්ට ඒ ඒ අනුසයෝ පවතිත් යයි කියති. කේවලව නො කියති. අප්‍රහීන බැවින් ඒවා පවතී යයි දතයුතුය.
අනුසයා භංගානං යයි යමෙකුගේ යම් අනුසයක් පවතීද එය පවතීමය. යම් අනුසයක් නොපවතීද එය නොපවතීමය. මෙය පවතීද නොපවතීද, මෙය පවතින්නේය. නොපවතින්නේ යයි මෙසේ බෙදිය යුතු අනුසය නම් නැත. රූප ධාතුං උප්පජ්ජන්තස්ස කස්සචි තයො යයි අනාගාමි වශයෙන් කියන ලදි. ඔහුගේ වනාහි කාමරාග පටිඝ දිට්ඨි විචිකිච්ඡා අනුසය සතර ද ප්‍රහීන විය. ඉතිරි තුන අප්‍රහීනය. එයින් කියන ලදි. කිසිවෙකුගේ අනුසය තුනක් පවතී.
න කාමධාතුං යයි කාමධාතුවෙන් ප්‍රතිසෙධ බැවින් සෙසු ධාතු දෙකේ උපන්නාගේ යයි අර්ථ වේ. සත්තෙව යයි යම් ආර්ය ශ්‍රාවකයෙකුගේ රූපධාතුවෙන් චුතව කාමධාතුවේ උපතක් නම් නැත. පෘථග්ජනයාටම වේ. එහෙයින් සත්තෙ වා යයි නියමකොට කියන ලදි. අරූප ධාතුයා චුතස්ස කාමධාතුං උප්පජ්ජන්තස්ස සත්තෙවා යයි මෙහිද එම නයම වේ. රූපධාතුයා උප්පත්ති නත්‍ථි යයි කුමක් හෙයින් නැත්ද? උපත නිෂ්පාදකයාගේ රූපාවචර ධ්‍යානයේ අභාවය නිසා. හේ සියළු ආකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණය ඒ ධාතුවේ උපන්නේ යයි ඔහුට රූපාවචර ධ්‍යානයක් නැත. එය නොමැති වීමෙන් රූපධාතුවේ උපත් නැතැයි දතයුතුය. අරූප ධාතුයා චූතස්ස න කාමධාතුං මෙහි අරූපධාතුම අදහස් කරයි. මෙම නයින් සියළු විසඳුම්වල අර්ථ දතයුතුය.
ධාතුවාර කථා නිමි.
අනුසය යමක වර්ණනාව සමාප්තයි.
8. චිත්ත යමක වර්ණනාව
උද්දෙසවාර වණ්ණනා
දැන් ඒ මූල යමකයෙහි ම දේශනා කරන ලද කුසලාදි ධර්මවල ලැබීම් වශයෙන් ඒකදේශයක්ම සංග්‍රහකොට අනුසය යමකයට අනතුරුව දේශනා කළ චිත්ත යමකයේ අර්ථ වර්ණනාව වේ. මෙහි පෙළෙහි නියමය පළමුව දැනගත යුතුය. මෙම චිත්ත යමකයෙහි. මාතිකා ඨපනය ඨපිත මාතිකා විසඳීම යයි වාර දෙකක් වේ. එහි මාතෘකා තැබීමේ පුග්ගලවාර, ධම්මවාර, පුග්ගල ධම්මවාර යයි මුලින් සුද්ධික මහාවාර තුනක් වේ.
එහි යස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති මෙසේ පුද්ගල වශයෙන් සිතේ උපදින නිරුද්ධවන ආදි භේද දක්වමින් යන ලද්දේ පුග්ගල ධම්මවාර නම් වේ. යස්ස යං චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති යයි මෙසේ ධර්ම වශයෙන්ම සිතේ උපදින නිරුද්ධවන භේද දක්වන්නේ පුග්ගලධම්මවාර නම් වේ. ඉක්බිති යස්ස සරාගං චිත්තං යයි සොළොස් පදයන්ගේ වශයෙන් පසුව සරාගාදි පද විශේෂිත වූ සොළස පුග්ගල වාර, සොළස ධම්මවාර, සොළස පුග්ගල ධම්මවාර අට සතළිස් මිශ්‍රකවාර වේ. ඒවා සරාගාදි පද පමණක් දක්වා සංක්‍ෂෙප කරන ලදි. ඉක්බිති යස්ස කුසලං චිත්තං යනාදි නයින් දෙසිය හැටහය සංඛ්‍යාවක් අභිධර්ම මාතෘකා පද වශයෙන් පසුව කුසලාදි පද විශේෂිතව දෙසිය හැටහයක් පුද්ගලවාර, දෙසිය හැටහයක් ධම්මවාර, දෙසිය හැටහයක් පුග්ගල ධම්මවාර යයි හත්සිය අනූඅටක් මිශ්‍රක වාර වේ. ඒවාද කුසලාදි පද පමණක් දක්වා සංක්‍ෂෙප කෙළේමය. මෙහි යම් නිදර්ශන සහිත පද සිත සමග නොයෙදේ. ඒවා මෝඝ පුච්ඡා වශයෙන් තබන ලදි.