පවත්තිවාර වර්ණනාව
මෙහි පවත්ති වාරයෙහි වනාහි වර්තමාන කාල පුග්ගවාර අනුලෝම නයෙහි යස්ස කාය සංඛාරො උප්පජ්ජති තස්ස වචී සංඛාරො උප්පජ්ජති යයි කාය සංඛාර මූලක දෙකකි. වචීසංඛාර මූලක එකකැයි යමක තුනක් ලබයි. ඒවා ගන්නා ලදි. එහි පටිලෝම නයෙහි ඔකාසවාරාදියෙහි ද මෙම නයම වේ. මෙසේ මෙහි සියළු වාරවල යමක තුන තුන වශයෙන් යමක ගණන දතයුතුය.
මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි මේ ලක්ෂණය වේ. මේ සංඛාර යමකයෙහි අස්සාස පස්සාසානං උප්පාදක්ඛණෙ විතක්ක විචාරානං උප්පාදක්ඛණෙ යනාදි වචනයෙන් වර්තමාන ආදි කාලභේදය පැවතීම් වශයෙන් ද ගතයුතුය. චුති පටිසන්ධි වශයෙන් නොවේ. දුතියජ්ඣානෙ තතියජ්ඣානෙ තත්ථ කාය සංඛාරො උප්පජ්ජති ආදි වචන බැවින් ද ධ්යාන ද ඔකාස වශයෙන් ගන්නා ලදැයි දතයුතුය. මෙසේ මෙහි යමක් ලබාද ඒ ඒ වශයෙන් අර්ථ විනිශ්චය දතයුතුය.
එහි නය මුඛය මෙසේය:- විනා විතක්ක විචාරෙහි දුතිය තතියජ්ඣාන වශයෙන් කියන ලදි. තෙසං ඒ දුතිය තතියජ්ඣාන සමග කාමාවචරානං යයි කාමාවචරයෙහි උපන් සත්ත්වයන්ගේ. රූපාවචර දෙවියන්ගේ වනාහි ආශ්වාස ප්රශ්වාස නැත. අරූපාවචරයන්ගේ රූපයම නැත. විනා අස්සාස පස්සාසෙහි යයි රූප අරූප භවවල උපන් සතුන්ගේ විතක්ක විචාර ඉපදීම සඳහා කියන ලදි.
පඨමජ්ඣානෙ කාමාවචරෙ යයි කාමාවචර භූමියෙහි උපන් ප්රථම ධ්යානයෙහි. මෙහි අංග පමණක් ප්රථමධ්යානය ගත යුතුය. අර්පණා වශයෙන් නොවේ. අර්පණාවට නොපැමිණියහු විසින්ද සවිතක්ක සවිචාර සිතේ මෙ සංඛාර දෙක උපදවනු ලැබේමය.
චිත්තස්ස භංගක්ඛණෙ යන මේ කාය සංඛාර ඒකාන්ත චිත්ත සමුට්ඨානය බැවින් කියන ලද සිත උපදින්නේ, රූපය හෝ අරූපය හෝ උපදවයි. බිඳෙමින් නොවේ.
සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ පටිසන්ධියෙන් දෙවන භවාංග සිතේ මෙය ඒකාන්තයෙන් පටිසන්ධි සිත ද පවතින කල්හි එහි නූපදියි. යම්තාක් අමිශ්ර විපාක සිත පවතීද ඒතාක් නූපදින්නේ නමැයි දැක්වීම සඳහා මෙය කියන ලදි. යම් ධ්යානයක විපාක සිතින් ඔව්හු ඉපදුනහ. එය සියයකින් ද දහසකින් ද ඉපදෙන්නේ පළමු සිතමය. විපාක සිතින් වනාහි විසදෘෂ වූ භව ආශාවෙන් ආවර්ජන සිත දෙවන සිත නම් වේ. එය සඳහා කියන ලදැයි දතයුතුය.
පච්ඡිමචිත්ත සමංගිනං සියල්ලටම පසුව පටිසන්ධි නොවුන සිතින් යුක්ත වූ ක්ෂීණාශ්රවයන්ගේ. අවිතක්ක අවිචාර පච්ඡිම චිත්තං රූපාවචර ද්විතීය ධ්යානිකාදී චුති සිත වශයෙන් අරූපාවචරයින්ගේ චතුර්ථධ්යානික චුති සිත වශයෙන් මෙය කියන ලදි. තෙසං ඒ පශ්චිම සිතෙන් යුක්ත වූවන්ගේ.
යස්ස කාය සංඛාරො නිරුජ්ඣති තස්ස චිත්ත සංඛාරො නිරුජ්ඣති මෙහි නියමයෙන් කාය සංඛාරයේ චිත්ත සංඛාරය සමග එක් ක්ෂණයෙහි නිරුද්ධ වීමෙන්. ආමන්තා යයි ප්රතිවචන දෙන ලදි. චිත්ත සංඛාරය කාය සංඛාරය සමග නිරුද්ධ නොවේ. කුමක් නිසාද? චිත්ත සංඛාරය වනාහි කාය සංඛාරය නැතුවද උපදී. නිරුද්ධ වේ. කාය සංඛාරය වනාහි සිතෙන් උපදවන ආශ්වාස ප්රශ්වාස වාතයෙන් යුක්ත වේ. චිත්ත සමුට්ඨාන රූප ද සිත උපදිනවිට ඉපදී අන් සොළොස් සිත් ඉපදෙන තුරු සිටී. ඒ සොළොස් සිත්වල සියල්ලට පසු සිත සමග නිරුද්ධ වේ. යම් සිතක් සම උපදීද එතැන් පටන් දාහත්වන සිත සමග නිරුද්ධ වේ. කිසි සිතක උප්පාද ක්ෂණයෙහි හෝ ඨිති ක්ෂණයෙහි නිරුද්ධ නොවේ. ඨිති ක්ෂණයෙහි හෝ භංග ක්ෂණයෙහි හෝ නූපදී. මෙය චිත්ත සමුට්ඨානික රූපවල ධර්මතාවයයි නියමයෙන් චිත්ත සංඛාර සමග ඒක ක්ෂණයෙහි නිරුද්ධවීමෙන් ආමත්තා යයි කියන ලදි. යම්සේ විභංගප්පකරණයේ සිංහල අටුවා කථාවෙහි සිතින් උපදවන රූප (චිත්ත සමුට්ඨානන රූප) දාහතරවන සිතේ උප්පාද ක්ෂණයෙහි නිරුද්ධ වේයයි කියන ලදි. එය මේ පෙළට විරුද්ධය. අටුවාවෙන් ද පෙළම බලවත් යයි පෙළෙහි කියන ලදමය. ප්රමාණ වේ.
යස්ස කාය සංඛාරො උප්පජ්ජති තස්ස වචී සංඛාරො නිරුජ්ඣති මෙහි යම්හෙයකින් කාය සංඛාරය සිතේ උප්පාද ක්ෂණයෙහි උපදී. ඒ ක්ෂණයෙහි විතක්ක විචාර නිරුද්ධ නොවේ. එහෙයින් නො යයි ප්රතිසේධය කරන ලදි. මේ නය මුඛයෙන් සියළු තැන අර්ථ විනිශ්චය දතයුතුය. පරිඤ්ඤා වාරය මුලින් කියන ලද්ද සේය.
සංඛාර යමක වර්ණනාව නිමි.
7. අනුසය යමක වර්ණනාව
පරිච්ඡෙදපරිච්ඡින්නුද්දෙසවාරවණ්ණනා
දැන් ඒ මූල යමකයෙහි දේශනා කරන ලද කුසලාදි ධර්මයන්ගේ ලැබීම් වශයෙන් ඒක දේශයක් සංග්රහකොට සංඛාර යමකවලට අනතුරුව දේශනා කළ අනුශය යමකයේ අර්ථ වර්ණනාව වේ. එහි මුලින් පෙළෙහි නියමය දතයුතුය. මේ අනුශය යමකයෙහි ඛන්ධ යමකාදියෙහි මෙන් දේශනා නොකොට වෙනත් නයකින් පෙළෙහි දේශනාව කරන ලදි. කෙසේද? පළමුව පරිච්ඡේද වශයෙන්, උද්දේස වශයෙන්, උප්පත්ති ස්ථාන වශයෙන් යයි තුන් ආකාරයකින් අනුශයන් ගැන්වීමට පරිච්ඡේද වාරය, පරිච්ඡින්නුද්දෙසවාරය, උප්පත්තට්ඨානවාරය යයි වාර තුනක් දේශනා කරන ලදි. එයින් මහාවාර හතක් වශයෙන් අනුශයන් යොදා යමක දේශනාව කරන ලදි. [missing trans]