පණ්ණත්තිවාරවණ්ණනා
දැන් ඒ මූලයමකයෙහි ම දේශනා කරන ලද කුසලාදි ධර්මයන් සත්‍ය වශයෙන් සංග්‍රහකොට ධාතු යමකයට අනතුරුව දේශනා කරන ලද සත්‍ය යමක වර්ණනාව වේ. එහි ද යට කියන ලද නයින්ම පණ්ණත්ති වාරාදි මහාවාර තුන, අන්තරවාරාදි වූ අවසේස ප්‍රභේදද දතයුතුය. මෙහි පණ්ණත්තිවාරයෙහි වනාහි චතුර් සත්‍ය වශයෙන් පදසෝධන වාරය, පදසෝධන මූල චක්කවාරය, සුද්ධ චක්කවාරය, සුද්ධ සච්චමූලචක්කවාරය යයි මේ සතර වාරයෙහි යමක ගණන දතයුතුය.
පණ්ණත්ති වාර නිද්දේසයෙහි වනාහි අවසෙසං දුක්ඛසච්චං දුක්ඛ වේදනාවෙන් මෙන්ම තෘෂ්ණාවෙන් ද විනිර්මුක්ත වූ ත්‍රෛභූමක ධර්ම දතයුතුය. අවසෙසො සමුදයො සත්‍ය විභංගයෙහි නිර්දිෂ්ඨ කාමාවචර කුසලාදි භේද වූ දුක්ඛ සත්‍යයට ප්‍රත්‍ය වේ. අවසෙසො නිරොධො තදංග වික්ඛම්භන සමුච්ඡේද පටිප්පස්සද්ධි නිරෝධය ද ක්‍ෂණ භංගුර නිරෝධය ද. අවසෙසො මග්ගො ඒ සමයෙහි පංචංගික මාර්ගය වේ. අට්ඨංගික මාර්ගය, මිථ්‍යා මාර්ගය, අඩිපාර, කරත්ත පාර යනාදිය වේ.
පවත්තිවාරවණ්ණනා
මෙහි පවත්ති වාරයෙහි වනාහි වර්තමාන කාල පුග්ගල වාර අනුලෝම නයෙහි යමෙකුට දුක්ඛ සත්‍යය ඇතිවේද, ඔහුට සමුදය සත්‍යය උපදී. යමෙකුට වනාහි සමුදය සත්‍යය උපදීද ඔහුට දුක්ඛ සත්‍යය උපදී. දුක්ඛ සච්ච මූලකයෙහි තුනකින් සමුදය සත්‍යය මූලකයන් දෙකකින් නිරෝධ සත්‍ය මූලකයෙන් එකකින් ලැබෙන ඒවාද නොලැබෙන ඒවාද ගෙන පෙළ වශයෙන් යමක හයකින් විය යුතුය. ඒවායෙහි නිරෝධයට උප්පාදාය නැත. නිරෝධය නොයෙදේ. එහෙයින් දුක්ඛ සත්‍යමූලක, සමුදය සත්‍ය මාර්ග සත්‍ය සමගින් දෙකක් ද සමුදය සත්‍ය මූලක මාර්ග සත්‍ය සමග එකකැයි යමක තුනක් ආයේය. එහි පටිලෝම නයෙහි ඕකාස වාරාදියෙහි ද මෙම නයම වේ. මෙසේ මෙහි සියළු වාරවල යමක තුන තුන වශයෙන් යමක ගණන දතයුතුය. මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි මේ ලක්‍ෂණය සච්ච යමකයේ පවත්ති වාරයෙහි නිරෝධ සත්‍ය තවම නොලැබේ. සෙසු ඒවායේ වනාහි සමුදය සච්ච මග්ග සච්චවල එ්කාන්තයෙන් ම පැවතීමම ලබයි. දුක්ඛ සත්‍යය චුතිපටිසන්ධිවල ද පැවතීමේ ද ලබයි. වර්තමානාදි තුන් කාල චුතිපටිසන්ධිවල ද පැවතීම් වශයෙන් ලබයි. මෙසේ මෙහි යමක් ලබයිද ඒ අනුව අර්ථ විනිශ්චය දතයුතුය.
එහි නයමුඛය මෙසේය. සබ්බෙසං උපපජ්ජන්තානං යටත් පිරිසෙයින් සුද්ධාවාසවල ද ඔව්හු ද දුක්ඛ සත්‍යයෙන් ම උපදිති. තණ්හා විප්පයුත්ත චිත්තස්ස මෙය දුක්ඛ සත්‍යය සමුදය සත්‍යවල එක් කොටසක උත්පත්ති දැක්වීම සඳහා කියන ලදි. එහෙයින් පංචවෝකාර වශයෙන් ගතයුතුය. සතර වෝකාරයෙහි වනාහි තෘෂ්ණා විප්‍රයුක්ත ඵලසමාපත්ති සිතේ උපන් කෙණෙහි එකම සත්‍යකුදු නූපදී. මෙය මෙහි නොගත යුතුය. තෙසං දුක්ඛසච්චං එකෙණෙහි තෘෂ්ණාව හැර සෙසු දුක්ඛ සත්‍යය නම් වේයයි සඳහා කියන ලදි. මාර්ගයට ද උපන් කෙණෙහි මෙම නය වේ. එහි වනාහි රූපයම දුක්ඛ සත්‍ය වේ. සෙසු මාර්ග සම්ප්‍රයුක්ත ධර්ම සත්‍යය විනිර්මුක්තය. ඒ කාරණයෙන්ම ආරුප්පෙ මග්ගස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං උප්පජ්ජති, නො ච තෙසං දුක්ඛ සච්චං උප්පජ්ජතීති වුත්තං, සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ තණ්හා විප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්‍ථ ඔවුන්ගේ උපන් ක්‍ෂණයෙහි තෘෂ්ණා විප්‍රයුක්ත සිත උපන් කෙණෙහිම මෙසේ මෙහි ක්‍ෂණ වශයෙන් දතයුතුය. මෙබඳු ස්වරූප වූ වෙන තැන්වලද මෙම නයම වේ. අනභිසමෙතාවීනං චතුස්සත්‍ය ප්‍රතිවෙධ සංඛ්‍යාත අභිසමයට නොපත් සත්ත්වයන්ගේ. අභිසමෙතාවීනං අවබෝධ කළ සත්‍යය. මෙම නය මුඛයෙන් සියළු තැන අර්ථ විනිශ්චය දතයුතුය.