චිත්තානුපස්සනානිද්දෙසවණ්ණනා
චිත්තානුපස්සනා නිද්දේසයෙහි ද යට කියන ලද නයින්ම දතයුතුය. සරාගං වා චිත්තං ආදියෙහි සරාගං යනු අටවිධ ලෝභසහගත සිත්ය. වීතරාගං යනු ලෞකික කුසල අව්යාකෘත සිත්ය. මේවා සම්මර්ශනයෙන් ධර්මයේ එකඟබවක් ඇති නොවේ. ඒ නිසා මෙහි එක පදයකවත් නිවන නොලබයි. යම්හෙයකින් ප්රහාන ඒකාර්ථ වශයෙන් රාගාදිය සමග පවතී, සහ ප්රහීන වේ. එහෙයින් පද දෙකෙහි වෙනසක් නැතිව නොලැබේ යයි නොගන්නා ලදි. සෙසු අකුසල සිත් සතර පෙර පද හා සෙසු පසු පද භජනය නොකරයි. සදොසං යනු ද්විධය. දොම්නස් සහගතය. වීතදෝසං යනු ලෞකික කුසල හා අව්යාකෘතය. සෙසු දස අකුසල සිත් පෙර පදය හා පසුපදය භජනය නොකරයි. සමොහං යනු විචිකිච්ඡා සහගත හා උද්ධච්ච සහගත යයි දෙපරිදිය. යම්හෙයකින් මෝහය සියළු අකුසල්වල උපදීද? එහෙයින් සෙස්ස ද මෙහි වටීමය. මේ දුකයෙහි දොළොස් අකුසල් සිත් සියල්ල ගන්නා ලදි. වීත මෝහං යනු ලෞකික කුසල හා අව්යාකෘතය. සංඛිත්තං යනු ථීන මිද්ධ (සිතේ හා කයේ මැලිගතිය ඇති) යුත් සිත්. මේවා හැකිළුණු සිත් වේ. වික්ඛිත්තං යනු උද්ධච්ච සහගත සිත්. මේවා විසිරුණු සිත් නමි.
මහග්ගතං යනු රූපාවචර අරූපාවචර සිත්. අමහග්ගතං යනු කාමාවචර සිත් සඋත්තරං යනු කාමාවචර සිත් අනුත්තරං යනු රූපාවචර අරූපාවචර. එහිද ස උත්තර - රූපාවචර සිත්ය. අනුත්තර අරූපාවචර සිත්ය. සමාහිතං යනු යමෙකුට අර්පණා සමාධි උපචාර සමාධි හෝ ඇතිබවය. අසමාහිතං යනු උභය සමාධි විරහිත (අර්පණා උපචාර) බවය. විමුත්තං යනු තදංග වික්ඛම්භණ විමුක්ති වශයෙන් මිදීමය. අවිමුත්තං යනු උභය විමුක්තිය විරහිත බවය. සමුච්ඡේද පටිප්පස්සද්ධි නිස්සරණ විමුක්තිවලට මෙහි අවකාශයක් නැත. සරාගමස්ස චිත්තං මොහුගේ සිත රාග සහිතය යනුය. සෙස්ස යට කියනලද නයින් පැහැදිලිය. මේ කොටසෙහි පිරිසිදු විපස්සනාව කියන ලදි.
චිත්තානුපස්සනා නිද්දේසය
ධම්මානුපස්සනානිද්දෙසවණ්ණනා
නීවරණපබ්බවණ්ණනා
මෙපමණකින් කායානුපස්සනාවේ රූපස්කන්ධ විමසීමද වේදනානුපස්සනාවේ වේදනාස්කන්ධය විමසීමද චිත්තානුපස්සනාවේ විඤ්ඤාණ ස්කන්ධ විමසීමද කියන ලදි. එහෙයින් දැන් සම්ප්රයුක්ත ධර්ම ශීර්ෂයෙන් සඤ්ඤා සංඛාර ස්කන්ධ විමර්ශනයද කීමට ධම්මානුපස්සනය දක්වන්නේ කථඤ්ච භික්ඛු ආදිය කීහ. එහි සන්ත යනු නිතර හැසිරීම් වශයෙන් විද්යමාන වූ. අසන්තං යනු නොහැසිරීම් වශයෙන් ප්රහීණ වූ හෝ අවිද්යමාන වූ. යථා චාති යම් කරුණකින් කාමච්ඡන්දය ඉපදුනේ වේ. තඤ්ච පජානාති යනු ඒ කරුණ දනීයයි යනුයි. මෙම නයින් සියළු පදවල අර්ථ දතයුතුය.
එහි සුභ නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීමෙන් කාමච්ඡන්දය ඉපදුනේ වේ. සුභ නිමිත්ත නම් සුභ දේද සුභ අරමුණද සුභ නිමිත්තය. නුනුවණින් මෙනෙහි කිරීම නම් උපාය රහිත සිහිකිරීමය. අමාර්ගයෙන් සිහිකිරීමය. අනිත්යයෙහි නිත්යයයි හෝ දුකෙහි සැපයයි හෝ අනාත්මයෙහි ආත්ම යයි හෝ අසුභයෙහි සුභයයි හෝ මෙනෙහි කිරීමය. එය එහි බහුල වශයෙන් පවතිනවිට කාමච්ඡන්දය උපදී. එහෙයින් භගවත්හු කීහ.
“මහණෙනි, සුභ නිමිත්තක් ඇත. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් කාමච්ඡන්දයේ ඉපදීම සඳහාද උපන් කාමච්ඡන්දයේ අධික වීම මහත්වීම සඳහා එයම හේතුවේ.”
අසුභ නිමිත්තෙහි නුවණින් මෙනෙහි කරන්නාට කාමච්ඡන්දය ප්රහීණ වෙයි. අසුභ නිමිත්ත නම් අසුභ දේද අසුභ අරමුණද වේ. නුවණින් මෙනෙහි කිරීම නම් උපායෙන් හා මාර්ගයෙන් කරන මෙනෙහි කිරීමය. අනිත්යයෙහි අනිත්ය යයි හෝ දුකෙහි දුකයයි හෝ අනාත්මයෙහි අනාත්මයයි හෝ අසුභයෙහි අසුභය හෝ මෙනෙහි කිරීමය. එය එහි බහුල වශයෙන් පවතිනවිට කාමච්ඡන්දය ප්රහීණ වේ. එයින් භගවත්හු කීහ.
“මහණෙනි, අසුභ නිමිත්තක් ඇත. එහි නුවණින් මෙනෙහි කිරීම බහුල වූයේ නූපන් කාමච්ඡන්දයේ නොඉපදීම් සඳහා උපන් කාමච්ඡන්දයේ ප්රහාණය සඳහා අධික නොවීම් සඳහා මහත් නොවීම සඳහා එයම හේතුවේ.”
තවද කරුණු සයක් කාමච්ඡන්දයේ ප්රහාණය පිණිස පවතී. අසුභ නිමිත්ත ඉගෙනීම, අසුභ භාවනාවෙහි යෙදීම, ඉන්ද්රියයන් සංවර කරගැනීම, භෝජනයෙහි පමණ දැනීම, කලණ මිතුරන් ඇති බව, සප්පාය කථා යන සයයි. දස ආකාරයකින් අසුභ නිමිත්ත ඉගෙන ගන්නාට ද කාමච්ඡන්දය ප්රහීන වේ. අසුභ භාවනාව වඩන්නාටද ඉඳුරන් හෝ දොරවල් වැසූ තැනැත්තාටද ප්රහීන වේ. සතර පස් පිඬක් කෑමට ඉඩ තබා පැන් පානය කොට යැපෙන පමණක් ආහාරයෙහි පමණ දැනීමද එයින් කියන ලදි.
සතර පස් කටකට - ඉඩ තබා පැන්බීමෙන්
විහරණය පහසුය - දුරුකළ මුනිපුත් තමා
විහරණය පහසුය - දුරුකළ මුනිපුත් තමා
අසුභකම්මික තිස්ස තෙරුන් සමාන වූ කල්යාණ මිත්රයකු ආශ්රය කරන්නාට ද කාමච්ඡන්දය ප්රහීන වේ. සිටින ස්ථානවලද දස අසුභ ආශ්රිත සත්පාය කථාවලින්ද ප්රහීන වේ. එයින් කියන ලදි. “ඡ ධම්මා කාමච්ඡන්දස්ස පහාණාය සංවත්තත්ති” මේ කරුණු සයෙන් ප්රහීන වූ කාමච්ඡන්දය අර්හත් මගින් ඉදිරියේ. නොඉපදීම වේයයි දැනගනී.