කුමක් හෙයින් අවිජ්ජාව මුලින් කියන ලදද? ප්‍රකෘති වාදීන්ගේ ප්‍රකෘතිය මෙන් අවිද්‍යාවද ලෝකයේ අකාරණ මූ මූලකාරණයද අකාරණ නොවේ. ආසව සමුදයා අවිජ්ජා සමුදයොති අවිජ්ජාවට කාරණය කියන ලදි. යම් මූල කරුණක් වන්නේ නම් ඊට පර්යාය වන්නේය. එය කුමක්ද? සසර කතාවට ශීර්ෂ වශයෙනි. භාග්‍යවතුන් වහන්සේ සංසාර කථාව කියන්නේ ධර්ම දෙකක් ශීර්ෂ කොට දේශනා කළහ. අවිද්‍යාව සහ භව තෘෂ්ණාව වශයෙනි. යම්සේ කීහ. මහණෙනි, අවිද්‍යාවේ මුල් කොන නොපෙනේ. මෙයින් පෙර අවිද්‍යාව නොවීය. ඉක්බිති පසුව පහළවීය. මෙය මෙසේ කියනු ලැබේ. මීට හේතුව අවිද්‍යාවයයි ඉන්පසු පෙනී යයි. මහණෙනි, භව තෘෂ්ණාවේ මෙයින් පෙර තෘෂ්ණාව නොවීය. ඉන්පසු ඇතිවී යයි ආදි කෙළවර නොපෙනේ. මීට හේතුව භව තෘෂ්ණාවයයි පෙනේ.
මේ ධර්ම දෙක ශීර්ෂ කළේ ඇයි? සුගති දුගති ගාමීන්ගේ කර්මයේ විශේෂ හේතුව වන නිසාය. දුගතිගාමීන්ගේ කර්මයේ විශේෂ හේතුව අවිජ්ජාය. කුමක් හෙයින්ද? යම්හෙයකින් අවිජ්ජාවෙන් පුහුදුන් තෙමේ ගින්නෙන් තැවීමෙන් පොලුපහර ලැබීමෙන් උත්සාහයෙන් මැඩපවත්වන ලද්දේ වැදු දෙනක් ඒ උත්සාහයෙන් ආශ්වාද රහිතව හිතට අනර්ථයක් ගෙන දෙන්නේද උණුදිය පානය කිරීමක් මෙන් කෙලෙස් සන්තාපයෙන් ආශ්වාදරහිත වූ දුගතියට වැටෙන්නා වූද තමාට අනර්ථය ගෙනදෙන්නා වූද ප්‍රාණඝාතාදි අනේකප්‍රකාර වූ දුර්ගතිගාමී කර්මවල යෙදෙයි. සුගතිගාමීන්ගේ කර්මයේ විශේෂ හේතුව භව තෘෂ්ණාවය. කුමක් හෙයින්ද? යම් හෙයකින් භව තෘෂ්ණාවෙන් යුත් පෘථග්ජනයා කියන ලද ආකාරයෙන් දෙන සිසිල් ජලයට ආශාවෙන් එය ආශ්වාදනය කරන්නේ තමාගේ දුක දුරුකිරීමට සිහිල් ජලය පානය කරන්නාක් මෙන් කෙලෙස් සන්තාප නැතිව ආශ්වාද සහිතව සුගතියට පැමිණෙන තමාගේ දුර්ගති දුක දුරුකිරීමට සතුන් මැරීමෙන් වැළකීම ආදි අනෙකප්‍රකාර සුගතිගාමී කර්මවල යෙදෙයි.
මේ සංසාර කථාවට ශීර්ෂභූත වූ ධර්ම අතරෙන් කිසිවිට භාග්‍යවත්හු එක් ධර්මයක් මූලික කොටද දේශනා කරති. කෙසේද? ඉති ඛො භික්ඛවෙ අවිජ්ජූපනිසා සංඛාරා සංඛාර නිසා විඤ්ඤාණං” ආදිය. එසේම මහණෙනි, උපාදාන ධර්මවල ආශ්වාද වශයෙන් බලන්නාට තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ යන ආදි කිසිතැනක උභයමූලිකවද කෙසේද? අවිජ්ජා නීවරණය නිසා තෘෂ්ණාවේ යුක්ත බාලයාට මෙසේ මේ ශරීරය හටගත්තේය යන මේ කයද බාහිර නාමරූප යන මෙහි ඒ දෙක නිසා ස්පර්ශය සළායතන එය ස්පර්ශ කරන බාලයා සැපදුක් විඳියි යන ආදි ඒ ඒ දේශනාවල අවිජ්ජා පච්චයා සංඛාරාති වේ. මෙහි අවිජ්ජා වශයෙන් එක් ධර්මයක් මුල්කොට කළ දේශනා වේ යයි දතයුතුය. මෙහි දේශනා භේදයෙන් විනිස දතයුතුය.
අර්ථ වශයෙන් යනු අවිජ්ජාදි පදයන්ගේ අර්ථ වශයෙන් කෙසේද? පිරීමට නුසුදුසු තැන්වල කාය දුශ්චරිතාදිය අවිද්‍යා නම් වේ. නොලද යුතුය යන අර්ථයයි. ඒ නොලද යුතු දේ ලබත්ය යනු අවිජ්ජා නම් වේ. ඊට විපරීත වූ කාය සුචරිතාදිය වින්‍දිය (ලැබිය යුතු දේ) නම් වේ. ඒ විඳිය යුතු දේ නොවිඳීනුයි අවිජ්ජා නම් වේ. ස්කන්ධයන්ගේ රාශිය අර්ථය. ආයතනවල ආයතන අර්ථය. ධාතූන්ගේ ශූන්‍යතා අර්ථය සත්‍යවල තථ්‍ය අර්ථය, ඉන්‍ද්‍රියවල අධිපති අර්ථය නොදැන ගැනීම අවිජ්ජා වේ. දුක්ඛාදියේ පෙළීම් වශයෙන් කියන ලද සතරාකාර සතරාකාර අර්ථය නොදැනීම කෙරේනුයිද අවිජ්ජා වේ. කෙළවරක් නැති සංසාරයෙහි සියළු යෝනි ගති භව විඤ්ඤාණය ඇති සත්තාවාසවල සත්ත්වයන් දුවවයි යනුද අවිජ්ජා වේ. පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වූ ස්ත්‍රී පුරුෂයන් කෙරෙහි දුවයි විද්‍යමාන ඛන්‍ධ ආදිය කෙරෙහි නොදුවයි යනුද අවිජ්ජා වේ. තවද චක්ඛු විඤ්ඤාණාදියේ වස්තු අරමුණුවල හේතුඵල හේතුවකින් උපන් ධර්ම වසා තබන හෙයින්ද අවිජ්ජා වේ.
යමක් නිසා ඵලයක් ඒද එය ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යය නැතිව එයින් නොවේ. එය ප්‍රත්‍යක්‍ෂ නොකළ යන අර්ථය වේ. එති යන ඉපදීම (හටගැනීම) ද පැවතීමද යන අර්ථය වේ. තවද උපකාරය යන අර්ථයෙන් ප්‍රත්‍යය යන අර්ථය වේ. අවිජ්ජාවද පච්චයද අවිජ්ජාපච්චය වේ. ඒ නිසා අවිජ්ජා පච්චයා
සංඛත අභිසංස්කරණ කෙරේනුයි සංඛාර වේ. තවද අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර ශබ්දයෙන් ආගත සංඛාර යන දෙපරිදිය. එහි පුඤ්ඤ අපුඤ්ඤ ආනෙඤ්ජ අභිසංඛාර තුන කායවචී චිත්ත සංඛාර තුන යයි හයක් අවිජ්ජාපච්චයා සංඛාරා වේ. ඒ සියල්ල ලෞකික කුසල අකුසල චේතනා පමණ වේ.
සංඛත සංඛාර, අභිසංඛත සංඛාර, අභිසංඛරණ සංඛාර, පයොගම්භි සංඛාර යයි මේ සතර වනාහි සංඛාර ශබ්දයෙන් ආගත සංඛාර නම් වේ. එහි අනිච්චා වත සංඛාරා යන ආදියෙහි කියන ලද සියළු සප්‍රත්‍ය ධර්මයන් සංඛත සංඛාර නම් වේ. කර්ම නිපදවන ත්‍රෛභූමික රූපාරූප ධර්ම අභිසංඛත සංඛාර යයි අටුවාවල කියන ලදි. ඒවා අනිච්චා වත සංඛාර යන මෙහිම ඇතුළත් වේ. වෙන්ව වනාහි ඒවා (පෙළෙහි) පැමිණි තැනක් නොපෙනේ. ත්‍රෛභූමික කුසල අකුසල චේතනා අභිසංඛරණ සංඛාර යයි කියනු ලැබේ. එය “අවිජ්ජාගතොයං භික්ඛවෙ පුරිස පුග්ගලො පුඤ්ඤඤ්චෙ අභිසංඛාරං අභිසංඛරොති” යන ආදියෙහි ආ තැන පෙනේ. කායික චෛතසික වීර්ය පයොගාභිසංඛාරයයි කියනු ලැබේ. එය “යාවතිකා අභිසංඛාරස්ස ගති තාවතිකා ගන්ත්‍වා අක්ඛාහතං මඤ්ඤෙ අට්ඨාසී” යන ආදියෙහි ආවේය.