ඵස්සපච්චයා වේදනා නිර්දේශයයි.
වේදනා පච්චයා තණ්හා නිර්දේශයෙහි :-
රූ තණ ඈ බෙයින් - ඇත මෙහි සයක් දක්වා
එකක තුනකින් යුත් - පවතින අයුරු දන්නේ
මෙහි වේදනා පච්චයා තණ්හා නිර්දේශයෙහි සිටු පුතා බමුණු පුතා යන පියාගේ නමින් පුතා මෙන් මේ රූප තණ්හා....... ධම්ම තණ්හා යන අරමුණුවලින් නම් වශයෙන් තෘෂ්ණා සයක් දක්වන ලදැයි ප්‍රකාශ කරන ලදැයි කියන ලදැයි යන අර්ථයද එහි රූපයෙහි තෘෂ්ණාව රූප තණ්හායයි මේ නයින් පද අර්ථය දතයුතුය.
ඒ තෘෂ්ණා අතරින් එක එකේ තණ්හාව පවතින ආකාරය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන තුන් ආකාරයෙන් දන්නා ලදි. යම්විට රූප තණ්හාවම ඇසට පැමිණි රූප අරමුණ කාමාශ්වාද වශයෙන් අරමුණු කරමින් පවතී. එවිට එය කාම තණ්හාව වේ. යම්විට ඒ අරමුණම ස්ථිරව සදාකාලිකව පවතී යයි සාස්වත දෘෂ්ටිය සමග පවතී. එවිට එය භව තණ්හාව වේ. සාස්වත දෘෂ්ටි සහගත රාගය භව තෘෂ්ණාවයි කියනු ලැබේ. යම්කලෙක ඒ අරමුණම සිඳදමනු ලබයි. විනාශ වන්නේ යයි උච්ඡේද දෘෂ්ටිය සමග පවතී. එවිට එය විභව තණ්හා නම් වෙයි. උච්ඡේද දෘෂ්ටි සහගත රාගය විභව තණ්හාවයයි කියනු ලැබේ. ශබ්ද තෘෂ්ණාදිය ද මේ නයින්මය. මේවා තෘෂ්ණා දහඅටක් වේ.
ඒවා අජ්ඣත්ත දහඅට බාහිර දහඅට යයි තිස්හයක් වේ. මෙසේ අතීත තිස්හය අනාගත තිස්හය වර්තමාන තිස්හය යයි එකසිය අටක් තෘෂ්ණා වේ. ඒවා වනාහි සංක්‍ෂෙප කරමින් රූපාදි අරමුණු වශයෙන් සය, කාම තණ්හාදි වශයෙන් තණ්හා තුනක් වේ යයි දතයුතුය. යම්හෙයකින් වනාහි මේ සත්ත්වයෝ පුතා සනසා පුතා කෙරෙහි මමත්වයෙන් කිරිමවක මෙන් රූපාදි අරමුණු වශයෙන් ඉපදෙන වේදනාව ආශ්වාදනය කොට වේදනාවෙහි මමත්වයෙන් රූපාදි අරමුණු දෙන්නන්ගේ චිත්‍ර ශිල්පියා නළුවා සුවඳ වෙළෙන්දා අරක්කැමියා පේෂකාරයා රසායන බෙහෙත් සාදන වෛද්‍යවරුන් ආදින්ට මහත් සත්කාර කරති. ඒ නිසා මේ සියල්ල වේදනා පච්චයා තණ්හා හොතීති දතයුතුය.
දුගියා සුව පතයි - සුගියා තව තව පතා
මැදහතින් තැවුනෝ - එය සැපමයයි කියතී
තණෙන් පසවීමෙන් - වෙයි මේ තුන් වේදනා
වෙයින් තණ වේයයි - කී මහ ඉසිවර මෙසේ
අනුසයක් නොමැතිව - වෙයින් පස නොවේමය
එය නොමැති වේනම් - බමුණෙකි විසුවෙකි දනූ
වේදනා පච්ච තණ්හා නිර්දේශයයි.
උපාදානපදනිද්දෙසො
තණ්හා පච්චයා උපාදාන නිර්දේශයෙහි:-
උවාදන් සතරකි - බෙදුමෙන් අරුත් ඒවා
දම් සැකෙවින් විතර - පිළිවෙල ලෙසින් දක්වනු
පෙලෙහි උපාදාන යනු කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන යයි යන මේ සතර එයි. මේ ඒවායේ අර්ථ විභාගයයි. වස්තු සංඛ්‍යාත කාමය අල්ලාගනු ලැබේනුයි කාම උපාදාන වේ. කාමයද උපාදානයද කාමූපදාන වේ. උපාදාන යනු දැඩි ග්‍රහණයයි. මෙහි උප භේදය උපායාස උපක්කට්ඨ ආදියෙහි මෙනි. එසේම දිට්ඨියද උපාදානයද දිට්ඨි උපාදාන වේ. දෘෂ්ටිය ගනු ලැබේනුයි හෝ දිට්ඨි උපාදාන වේ. ආත්මයද ලෝකයද ශාස්වතය ආදියෙහි පුරිම දෘෂ්ටියද උත්තර දෘෂ්ටියද අල්ලා ගනී, එසේම සීල වත්ත අල්ලා ගනීනුයි සීලබ්බත උපාදාන වේ. සීලබ්බතය ද උපාදානය ද සීලබ්බතූපාදාන වේ. ගව සීල ගව වත්ත ආදිය මෙසේ පිරිසිදු වේ යයි සිතාගෙන වැළඳගෙන තමාම අල්ලාගෙන එසේ කියයි. මෙයින් වාද වේ. මෙයින් අල්ලා ගනීනුයි උඵාදාන වේ. කුමක් කියයිද? කුමක් අල්ලා ගනීද? යන මෙය උපාදානය වේ. තම තමාගේ වාදය උපාදානය කිරීම අත්තවාදූපාදානය වේ. අත්තවාදය පමණක් හෝ තමා යයි අල්ලා ගත්තේ මෙයින්ය යනු අත්තමවාදූපදාන වේ. මෙය ඒවායේ අර්ථ විභාගයයි.
ධම්මසංඛෙප විත්‍ථාරය වනාහි කාමූපාදානය මුලින්ම එහි කාම උපාදානය කුමක්ද? යමෙක් කාමයන්හි කාමයන් කැමැත්තෙක් වේද? ඇල්මක් වේද බැඳීමක් වේද සෙනෙහසක් වේද දැවීමක් වේද මූර්ඡාවීමක් වේද බලවත් ඇල්මක් වේද එය කාම උපාදානය කියනු ලැබේ. සංක්‍ෂේපයෙන් ආ බැවින් තණ්හාව ගොරෝසු ලෙස කියන ලදි. ගොරෝසු තණ්හාව නම් පුරිම තණ්හාව උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් දැඩිව හටගත් උත්තර තණ්හාවම වේ. කිසිවෙක් මෙසේ කීහ. නොපැමිණි විෂය පැතීම තණ්හාව වේ. අඳුරෙහි සොරාගේ අත දිගු කරන්නාක් මෙන් පැමිණි විෂය ගැනීම උපාදාන වේ. එහිම භාණ්ඩයක් ගැනීම මෙනි. අපිස් සතොස් බවට ඒ ධර්ම ප්‍රත්‍යක්‍ෂ වේ. එසේම ඒවා සෙවීම ආරක්ෂා කිරීම දුකට මුලකි. සෙසු උපාදාන තුන සැකෙවින් දෘෂ්ටි මාත්‍රයකි.