වෙදනාපදනිද්දෙසො
ඵස්ස පච්චයා වේදනා නිර්දේශයෙහි:-
කීයැ විඳුම් දොරෙන් - සක් පහසින් නිපන් ඈ
සයෙක් තෙල බෙදුමෙන් - එකුන් අනූ වේ දනූ
චක්ඛු සම්ඵස්සජා වේදනා යන ආදි නයින් පෙලෙහි මෙය චක්ඛු සම්ඵස්සජාදිකය සදොරින්ම වේදනාව ඇතිවේ යයි කියන ලදි. එය ප්‍රභේද වශයෙන් එකුන් අනූ සිත්වලින් සම්ප්‍රයුක්ත වී අසූනවය යයි දන්නා ලදි.
විඳුම් අතරින් මෙහි - දෙතිසක් වූ වේදනා
විපාක සිත් සමග - අදහස් කළැයි පැවසේ
අට’යුරු එහි පහට - පස් දොරෙහි පස වන්නේ
සෙසු පහස එකයුරු - මන දොරෙහි පෙර අට’යුරු
එහි පඤ්ච ද්වාරයෙහි චක්ඛු පසාදාදි වස්තු පසේ වේදනාවන්ගේ චක්ඛු සම්ඵස්සාදික වූ ස්පර්ශයට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර සම්පයුත්ත අත්‍ථි අවිගත වශයෙන් අට ආකාරයකින් ප්‍රත්‍ය වේ. සෙසු එක එක දොරවල්වල සම්පටිච්ඡනා සන්තීරණ තදාරම්මණ වශයෙන් පවතින කාමාවචර විපාක වේදනාවන්ගේ චක්ඛු සම්ඵස්සාදි ස්පර්ශය උපනිස්සය වශයෙන් එක් අයුරින් ප්‍රත්‍ය වේ.
මනෝද්වාරයෙහි ද තදාරම්මණ වශයෙන් පවතින කාමාවචර විපාක වේදනාවන්ගේ ඒ සහජාත මනෝ සම්ඵස්ස සංඛ්‍යාත ස්පර්ශය පෙර මෙන් අට ආකාරයකින් ප්‍රත්‍ය වේ. ප්‍රතිසන්ධි භවංග චුති වශයෙන් පවත්නා ත්‍රෛභූමික විපාක වේදනාවන්ගේද මනෝ ද්වාරයෙහි යම් ඒ තදාරම්මණ වශයෙන් පවතින කාමාවචර වේදනා ඒවා මනෝද්වාරයෙහි ආවර්ජන ආවර්ජන සම්ප්‍රයුක්ත වූ මනෝ සම්ඵස්සය උපනිස්සය වශයෙන් එක් අයුරකින් ප්‍රත්‍ය වේ.
ඵස්සපච්චයා වේදනා නිර්දේශයයි.
වේදනා පච්චයා තණ්හා නිර්දේශයෙහි :-
රූ තණ ඈ බෙයින් - ඇත මෙහි සයක් දක්වා
එකක තුනකින් යුත් - පවතින අයුරු දන්නේ
මෙහි වේදනා පච්චයා තණ්හා නිර්දේශයෙහි සිටු පුතා බමුණු පුතා යන පියාගේ නමින් පුතා මෙන් මේ රූප තණ්හා....... ධම්ම තණ්හා යන අරමුණුවලින් නම් වශයෙන් තෘෂ්ණා සයක් දක්වන ලදැයි ප්‍රකාශ කරන ලදැයි කියන ලදැයි යන අර්ථයද එහි රූපයෙහි තෘෂ්ණාව රූප තණ්හායයි මේ නයින් පද අර්ථය දතයුතුය.
ඒ තෘෂ්ණා අතරින් එක එකේ තණ්හාව පවතින ආකාරය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන තුන් ආකාරයෙන් දන්නා ලදි. යම්විට රූප තණ්හාවම ඇසට පැමිණි රූප අරමුණ කාමාශ්වාද වශයෙන් අරමුණු කරමින් පවතී. එවිට එය කාම තණ්හාව වේ. යම්විට ඒ අරමුණම ස්ථිරව සදාකාලිකව පවතී යයි සාස්වත දෘෂ්ටිය සමග පවතී. එවිට එය භව තණ්හාව වේ. සාස්වත දෘෂ්ටි සහගත රාගය භව තෘෂ්ණාවයි කියනු ලැබේ. යම්කලෙක ඒ අරමුණම සිඳදමනු ලබයි. විනාශ වන්නේ යයි උච්ඡේද දෘෂ්ටිය සමග පවතී. එවිට එය විභව තණ්හා නම් වෙයි. උච්ඡේද දෘෂ්ටි සහගත රාගය විභව තණ්හාවයයි කියනු ලැබේ. ශබ්ද තෘෂ්ණාදිය ද මේ නයින්මය. මේවා තෘෂ්ණා දහඅටක් වේ.
ඒවා අජ්ඣත්ත දහඅට බාහිර දහඅට යයි තිස්හයක් වේ. මෙසේ අතීත තිස්හය අනාගත තිස්හය වර්තමාන තිස්හය යයි එකසිය අටක් තෘෂ්ණා වේ. ඒවා වනාහි සංක්‍ෂෙප කරමින් රූපාදි අරමුණු වශයෙන් සය, කාම තණ්හාදි වශයෙන් තණ්හා තුනක් වේ යයි දතයුතුය. යම්හෙයකින් වනාහි මේ සත්ත්වයෝ පුතා සනසා පුතා කෙරෙහි මමත්වයෙන් කිරිමවක මෙන් රූපාදි අරමුණු වශයෙන් ඉපදෙන වේදනාව ආශ්වාදනය කොට වේදනාවෙහි මමත්වයෙන් රූපාදි අරමුණු දෙන්නන්ගේ චිත්‍ර ශිල්පියා නළුවා සුවඳ වෙළෙන්දා අරක්කැමියා පේෂකාරයා රසායන බෙහෙත් සාදන වෛද්‍යවරුන් ආදින්ට මහත් සත්කාර කරති. ඒ නිසා මේ සියල්ල වේදනා පච්චයා තණ්හා හොතීති දතයුතුය.