ඵස්සපදනිද්දෙසො
සළායතන පච්චයා ඵස්ස නිර්දේශයෙහි :-
ස වෙ පහස් කෙටියෙන් - අක් පහස් ඈ ලෙසිනේ
දෙතිස් විනැණ වැනිව - විතර විසින් වේ දනූ
පාලියෙහි සංක්‍ෂෙපයෙන් චක්ඛු සම්ඵස්සති යන ආදි ස්පර්ශ සයක්ම ආවේය. විස්තර වශයෙන් වනාහි චක්ඛු සම්ඵස්සාදි කුසල විපාක පහද අකුසල විපාක පහද යන දහයද සෙසු ලෞකික විපාක විඤ්ඤාණ සම්ප්‍රයුක්ත වූ විසිදෙක දැයි යන මේ සියල්ල සංඛාර ප්‍රත්‍යයෙන් යුත් කියන ලද විඤ්ඤාණය මෙන් තිස්දෙකක් වේ. යම් ඒ මේ තිස්දෙවැදෑරුම් වූ ස්පර්ශයට සළායතන ප්‍රත්‍ය වේ. එහි
සක් ආදි අබතුර - බාහිර ද සයෙකින් වන
සළායතන වේ යයි - කැමතිවෙති මෙහි විදුවෝ
එහි යමෙක් තමාගේ යයි සිතා පැවැත්ම කථා වේ යයි එක් පරම්පරාවකට අයත් ප්‍රත්‍ය හා ප්‍රත්‍යුත්පන්න පලද දැක්වේ. ඒවා ඡට්ඨායතන පච්චයා ඵස්සො යන පෙල ඇසුරෙන් ආරුප්පයෙහි ඡට්ඨායතන ද අන් තන්හි සර්ව සංග්‍රහ වශයෙන් සළායතනද ස්පර්ශයෙහි ප්‍රත්‍යයයි එක් ආකාරයකින් සමාන වූ දේ එකක් වශයෙන් ගෙන ඡට්ඨය සමග ආධ්‍යාත්ම වූ ශරීරයෙන් සහ චක්ඛු ආදිය සළායතනයයි කැමති වෙති. එය ඡට්ඨායතනද සළායතනද සළායතන ලෙස ගණන් ගැනේ. යමෙක් ප්‍රත්‍යුත්පන්නයම එක් සන්තතියකට ඇතුළත් කොට දක්වති. බිඳුණු සන්තතියකද ප්‍රත්‍යය වෙයි. යම් යම් ආයතන ස්පර්ශයට ප්‍රත්‍ය වේ. ඒ සියල්ලම දක්වන්නේ බාහිරයද අල්වාගෙන එයම ඡට්ඨය සමග අජ්ඣත්තය බාහිර වූ රූපායතනාදිය සමග සළායතනයයි කැමතිවෙති. එයද ඡට්ඨායතනඤ්ච සළායතනඤ්ච සළායතනය යන මේවා ඒක සේසයක් කළ කල්හි සළායතන යන සංඛ්‍යාව යයි
මෙහි කීහ. සියළු ආයතනයන් එක් ස්පර්ශයක් සම්භෝග නොකෙරේ. (හටගන්වනු ලැබේ.) එක් ආයතනයකින් සියළු ස්පර්ශ ඇති නොවේ. මෙයද, සළායතන පච්චයා ඵස්සො යයි එකක්ම කියන ලදි. ඒ කුමක් නිසාද? එහි විසඳුම මෙයයි. මෙය සත්‍යයයි. සියල්ල විසින් එකක් හෝ එකකින් සියල්ලම හෝ නොහටගනී. අනේකයෙන් එකක් හට ගනී. යම්සේ චක්ඛු සම්ඵස්සො චක්ඛායතනා රූපායතනා චක්ඛු විඤ්ඤාණ සංඛාතා මනායතනා අවසේස සම්පයුත්ත ධම්මායතන යයි මෙසේ සියළු තන්හි සුදුසු පරිදි යෙදිය යුතුයි. එහෙයින්ම :-
එකක් එක් ආයත-නයකින් ඇතිවෙතැයි කී
පහස එක් වදනින් - මෙහි නිදසනුයෙ එනිසා
ඒක වචන නිර්දේශයෙන් යන සළායතන පච්චයා ඵස්සො යන මෙහි ඒකවචන නිර්දේශයෙන් නොයෙක් ආයතනවලින් එක ස්පර්ශයෙක් වේ යයි එයින් දැක්වීය යන අර්ථයයි. ආයතන වනාහි :-
පහට සය අයුරින් - එකට නව විදි බිහියට
සය විදි වෙතැයි පස - දැක්විය යුතු නිපන් සේ
මේ එහි විස්තරයයි. චක්ඛු ආදි ආයතන පහ චක්ඛු සම්ඵස්ස ආදි පංචවිධ භේදයෙන් ස්පර්ශයට නිස්සය පුරෙජාත ඉන්‍ද්‍රිය විප්පයුත්ත අත්‍ථි අවිගත වශයෙන් සයාකාරයකින් ප්‍රත්‍ය වේ. ඉන්පසුව එකක් වූ විපාක මනායතනය නොයෙක් භේදයන් ඇති විපාක මනෝ ස්පර්ශයට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර ඉන්‍ද්‍රිය සම්පයුත්ත අත්‍ථි අවිගත වශයෙන් නවාකාරයකින් ප්‍රත්‍ය වේ. බාහිර ආයතන අතුරෙන් රූපායතන චක්ඛු සම්ඵස්සයට ආරම්මණ පුරෙජාත අත්‍ථි අවිගත වශයෙන් සිව් ආකාරයකින් ප්‍රත්‍ය වේ. සද්දායතනාදි සොතසම්ඵස්සාදියට ද එසේය. මනෝ සම්ඵස්සයේ වනාහි ඒවාද ධම්මායතනයද එසේම ආරම්මණ පච්චය පමණකින් යයි ද මෙසේ බාහිර හය මේවායේ සම්භවය අනුව ප්‍රත්‍ය බව දැක්විය යුතු වන්නේය.
සළායතන පච්චයා ඵස්ස නිර්දේශයයි.
වෙදනාපදනිද්දෙසො
ඵස්ස පච්චයා වේදනා නිර්දේශයෙහි:-
කීයැ විඳුම් දොරෙන් - සක් පහසින් නිපන් ඈ
සයෙක් තෙල බෙදුමෙන් - එකුන් අනූ වේ දනූ
චක්ඛු සම්ඵස්සජා වේදනා යන ආදි නයින් පෙලෙහි මෙය චක්ඛු සම්ඵස්සජාදිකය සදොරින්ම වේදනාව ඇතිවේ යයි කියන ලදි. එය ප්‍රභේද වශයෙන් එකුන් අනූ සිත්වලින් සම්ප්‍රයුක්ත වී අසූනවය යයි දන්නා ලදි.
විඳුම් අතරින් මෙහි - දෙතිසක් වූ වේදනා
විපාක සිත් සමග - අදහස් කළැයි පැවසේ
අට’යුරු එහි පහට - පස් දොරෙහි පස වන්නේ
සෙසු පහස එකයුරු - මන දොරෙහි පෙර අට’යුරු
එහි පඤ්ච ද්වාරයෙහි චක්ඛු පසාදාදි වස්තු පසේ වේදනාවන්ගේ චක්ඛු සම්ඵස්සාදික වූ ස්පර්ශයට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර සම්පයුත්ත අත්‍ථි අවිගත වශයෙන් අට ආකාරයකින් ප්‍රත්‍ය වේ. සෙසු එක එක දොරවල්වල සම්පටිච්ඡනා සන්තීරණ තදාරම්මණ වශයෙන් පවතින කාමාවචර විපාක වේදනාවන්ගේ චක්ඛු සම්ඵස්සාදි ස්පර්ශය උපනිස්සය වශයෙන් එක් අයුරින් ප්‍රත්‍ය වේ.