සොකනිද්දෙසො
සෝක විස්තරයෙහි ව්‍යසතීති ව්‍යසනං යනු හිතේ සුවය ඉවත් කරයි. නසයි යන අර්ථ වේ. නෑයින්ගේ ව්‍යසනය ඤාති ව්‍යසන වේ. සොර රෝබිය ආදියෙන් නෑයින් විනාශවීම යන අර්ථයයි. එහෙයින් ඤාතිව්‍යසනෙන ඵුට්ඨස්ස වේ. වසා පැතිරගත් වෙළාගත් යුක්ත වූ යන අර්ථ වේ. සෙස්සෙහිද මෙම නයයි. මෙය විශේෂයකි. භෝගවල ව්‍යසනය භෝග ව්‍යසනයයි. රජ සොර ආදී වශයෙන් භෝග ක්‍ෂය, භෝග විනාශය යන අර්ථ වේ. රෝගයම රෝග ව්‍යසන යයි. රෝගො යනු ආරෝග්‍ය විනාශ කිරීමය. සීලයේ ව්‍යසනය සීල ව්‍යසනයයි. දුස්සීල බව මෙය නමකි. සම්‍යක් දෘෂ්ටිය විනාශ කරමින් උපන් දෘෂ්ටියම දිට්ඨි ව්‍යසනයයි. මෙහි පෙර දෙක අනිෂ්පන්න වේ. පසු තුන නිෂ්පන්න වේ. තිලකුණු මඩින ලදි. පෙර තුන කුසල් අකුසල් නොවේ. සීල දිට්ඨි දෙක අකුසල් වේ.
අඤ්ඤතරඤ්ඤතරෙන යනු මිතුරුව ව්‍යසනයකද යම්කිසි කෙනෙක් නොගැනීමෙන් හෝ යම්කිසි කෙනෙක් ගැනීමෙන් හෝ සමන්නාගතස්ස සමාන බැඳීමේ, අත් නොහැරීමේ. අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන යනු යම්කිසි සෝක දුක් ඉපදීමේ හේතුවෙන්. සොකො සෝකවීම් වශයෙන් සෝකය. මෙය එයින් උපන් සෝකයේ ස්වභාව පැවැත්මය. සොචනා සෝකවන ආකාරය. සොචිතත්ත සෝකවන බව. අන්තො සොකො අභ්‍යන්තර සෝකය, දෙවන පදය උපසර්ග වශයෙන් වඩන ලදි. එය අභ්‍යන්තරය වියලන්නාක් උපදින හෙයින් අන්තෝ සොක අන්තෝ පරිසෝක යයි කියනු ලැබේ.
චෙතසො පරිජ්ඣායන්ති සිතේ දැවෙන ආකාරයයි. සෝකය ඉපදුණු විට ගින්න මෙන් සිත දවයි. මොනවට දවයි. මගේ සිත දැවෙයි. මට කිසිදෙයක් නොවැටහෙයි යයි කියවයි. දුකින් මනස දුම්මන වන නිසා දෝමනස්ස නම් වේ. ළඟට නොපැමිණි යන අර්ථයෙන් සෝකයටම උලයයි සොක සල්ලං වේ. අයං වුච්චති සොකො මෙය සෝක යයි කියනු ලැබේ. එය වනාහි කිසියම් අර්ථයකින් දොම්නස් වේදනාවම වේ. මෙසේ ඇතිකල්හි ඇතුළත දැවීම් ලක්‍ෂණයයි. නැවත නැවත ඇතිවන පසුතැවිල්ල කෘත්‍යයයි. අනුව සෝකවීම වැටහෙන ආකාරයයි.
සෝකයේ දුක්ඛාර්ථය දතයුතුය. මෙහි මෙය ස්වභාව දුක් බැවින්ද දුකට වස්තුවන බැවින්ද දුක යයි කියන ලදි. කවර දුකකටද? කායික දුකටද ජවන ක්‍ෂණයෙහි දොම්නස් දුකටද වස්තු වේ. සෝක වේගයෙන් හෘදයෙහි මහා ගඩුවක් ඇති වේ. එය නැගී පැසී බිඳෙයි. මුවින් කළු ලේ හෝ නික්මෙයි. බලවත් කායික දුකක් උපදී. මගේ ඤාතීහු මෙපමණක් මියගියහ. මගේ භෝග මෙපමණක් නැතිවිය. මෙසේ සිතන්නාට බලවත් දොම්නසක් උපදී. මේ දුක් දෙකම වස්තු භාවයෙන්ද දුක් යයි දතයුතුය. තවද:-
හදය සතුනගෙ සොව - උලකින්න විදින මෙන් වේ
ගිනියම් යකඩ ලෙස - දවයි නැවතත් බෝ සේ
ගෙනදෙයි ලෙඩරෝග - ජර මර බිඳුම් ඇත්තේ
ඇති හෙයින් නෙක දුක් - දුක් යයි මෙය කියනුයේ
පරිදෙවනිද්දෙසො
පරිදේව විස්තරයෙහි මගේ දුව මගේ පුතා පෙන්වමින් මෙයින් අඬයි දොඩයි යනු ආදෙව නම් වේ. ඒ ඒ ගුණ කියා ඇඬීම පරිදේව නම් වේ. එයින් පර දෙපදයෙන් පෙර දෙපදයේම ආකාරය ස්වභාවය විස්තර කිරීම් වශයෙන් කියන ලදි. වාචා වචනය. පලාප යනු හිස් නිරර්ථක වචනය. කොටසක් කීම, වෙනින් දෙයක් කීම වශයෙනි. වරූපී පලාපය විප්පලාප වේ. ලාලප්ප යනු නැවත නැවත කීමය. කියන ආකාරය ලලප්පනා වේ. ලාලප්පනයෙහි භාවය ලාලප්පිතත්තං වේ. අයං වුච්චති පරිදෙවො මෙය පරිදේව යයි කියනු ලැබේ. නැවත නැවත කීම එහි ලක්‍ෂණයයි. ගුණදොස් කීම කෘත්‍යයයි. කැරකීම වැටහෙන ආකාරයයි.
පරිදේවයේ දුක්ඛාර්ථය දතයුතුය. මෙය ද තමාම දුක් නොවේ. කායික දොම්නස්වලට වස්තුවන බැවින් දුක් යයි කියන ලදි. වැලපෙන්නා තමාගේ සිරුර අත්වලින් පෙළයි. දෑතින් පපුවට ගසා ගනී. උරච්චි කරයි. බිත්තියේ හිස ගසා ගනී. එයින් ඔහුට බලවත් කායික දුක් ඇතිවේ. මෙපමණ මගේ නෑයෝ මළහයි සිතයි. එයින් ඔහුට බලවත් දොම්නස උපදී, මේ දුක් දෙකම වස්තුභාවයෙන් දුක් යයි දතයුතුය. තවද:-
යම් සෝ සුලක් හද ඇනී වැලපෙන්නවුන්ගේ
තල්ලත් තොලුත් ගෙල ගලත් වියලී අසානෙන්
ඒසා මහත් දුකකටයි සිත ගොස් වැටෙන්නේ
ඒ හන්දමයි එපරිදේව දුකක් කියන්නේ
දුක්ඛදොමනස්සනිද්දෙසො
දුක් දොම්නස් විස්තරය ධම්මසංගහ අටුවාවෙහි යට වර්ණනා කළ බැවින් ප්‍රකටය. ඒවායේ ලක්‍ෂණාදිය එහි කියන ලද්දේමය.