අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධර්ම භාජනියෙහි යට කියන ලද සේ විදර්ශනා වඩන්නවුනට උපකාර පිණිස චක්ඛායතන රූපායතන යුගල වශයෙන් ආයතනයයි කියන ලදි. එසේ නොකියා අජ්ඣතීතික බාහිර සියළු ආකාරයෙන් ස්වභාවය දැක්වීම සඳහා චක්ඛායතන සෝතායතනයයි මෙසේ අජ්ඣත්තික බාහිර විභාග කිරීමේ නයින් කියන ලදි.
ඔවුන්ගේ නිර්දේශ වාරයෙහි එහි චක්ඛායතනය කවරේදැයි ආදිය යට කියන ලද ක්‍රමයෙන් දතයුතුය.
මේ ධම්මායතන නිද්දේසයෙහි එහි අසංඛත ධාතු කවරේද? රාග ක්‍ෂයය ද්වේෂය ක්‍ෂයය මෝහ ක්‍ෂයය යයි කියන ලදි. එහි අර්ථය මෙසේය. අසංඛත ධාතු යනු අසංඛත ස්වභාව වූ නිවනය. රාගාදිය මෙයට පැමිණ ක්‍ෂය වේ. එහෙයින් රාගක්‍ෂය ද්වේෂක්‍ෂය මෝහක්‍ෂය යයි කියන ලදි. මෙය ආචාර්යවරුන්ගේ සමානාර්ථ වූ කථාවය.
විතණ්ඩවාදීහු මෙසේ කීහ. වෙන් වෙන්වූ නිවනක් නැත. කෙලෙසුන් ක්‍ෂය කිරීමම නිවනයි. සූත්‍ර දක්වවයි කීකල්හි ඇවැත්නි, සාරිපුත්ත, නිවන නිවනයයි කියයි. ඇවැත්නි, නිවන කවරේද? ඇවැත්නි යමෙක් රාගක්‍ෂය දෝෂක්‍ෂය මෝහක්‍ෂය කෙරේද එය නිවනයි. මේ ජම්බුඛාදක සූත්‍රය ගෙනහැර දක්වා වෙන වෙන නිවනක් නැත. කෙලෙසුන් ක්‍ෂය කිරීමම නිවනයි කීය. කිම මේ සූත්‍රයේ යථා අර්ථයදැයි ඇසිය යුතුය. ඒකාන්තයෙන් එසේ යයි ද සූත්‍රය හැර අර්ථයක් නැතැයිද කියයි. ඉක්බිතිව මේ ඒ සූත්‍රයයි. ඊළඟ සූත්‍රය දක්වවයි කිවයුතුය. ඊළඟ සූත්‍රය නම් ඇවැත්නි, සාරිපුත්ත, රහත් රහත් යයි කියයි. ඇවැත්නි, රහත් නම් කවරේද? ඇවැත්නි, යමෙක් රාගක්‍ෂය, දෝසක්‍ෂය, මෝහක්‍ෂය කෙරේද එය රහත් යයි කියයි. මෙය ඊට අනතුරුව හැර දැක්වූ සූත්‍රයයි.
මේ සූත්‍රයෙහි නිවන නම් ධම්මායතනයට ඇතුළත් ධර්මයයි. රහත් නම් සතර ස්කන්‍ධ යයි කීහ. නිවන සාක්‍ෂාත් කොට වෙසෙන ධම්මසේනාපති නිවන ඇසූවිටද රහත්වීම ඇසූවිටද කෙලෙසුන් ක්‍ෂය කිරීමයයි කීහ. කිම නිවනද රහත්වීමද එකමද? නැතහොත් වෙනස්ද? එකම හෝ වෙනස් හෝ වේවා. ඔබ විසින් බොහෝ සෙයින් සුණුකරන අර්ථය මෙහි කොහෙද? ඔබ එකම හෝ වෙනස්බව නොදනී. දැනගැනීම හොඳ නොවේදැයි නැවත නැවත ඇසූවිට වංචා කිරීමට නොහැකිව කීය. රාගාදිය ක්‍ෂීණ වූ කල්හි උපන් හෙයින් රහත්වීම රාගක්‍ෂය, දෝසක්‍ෂය, මෝහක්‍ෂය යයි කියනු ලැබේ. ඉක්බිති ඔබ විසින් මහා කර්මයක් කරන ලදි. අල්ලසක් දුන්නත් මෙයම කියන්නේ යයි ඔහුට කිවයුතුය. මෙය යථා පරිදි බෙදා ඔබ විසින් කියන ලදි. මෙසේ මෙයද සලකන්න. නිවනට පැමිණ රාගාදිය ක්‍ෂීණ වේයයි නිවන රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය යයි කියන ලදි. මේ වචන තුනම නිවනට සමාන වචන වේ.
මෙසේ කීකල්හි අවබෝධ වේ නම් යෙහෙකි. එසේ නොවුවහොත් ඔහු නිවන් බව කරවිය යුතුය. කෙසේද? පළමුව මෙසේ ඇසිය යුතුය. රාගක්ඛය රාගයේ ක්‍ෂයවීමක්ද? නැතහොත් දෝස මෝහවල ක්‍ෂයවීමක්ද? දෝසක්ඛය දෝසයේ ක්‍ෂය වීමක්ද? නැතහොත් රාග මෝහවල ක්‍ෂය වීමක්ද? මෝහක්ඛය මෝහයේ ක්‍ෂය වීමක්ද? නැතහොත් රාග දෝෂවල ක්‍ෂය වීමක්ද? ඒකාන්තයෙන් කියයි. රාගක්ඛය රාගයේම ක්‍ෂයවීමයි. දෝසක්ඛය දෝසයේම ක්‍ෂයවීමයි. මෝහක්ඛය මෝහයේම ක්‍ෂයවීමයි.
ඉක්බිතිව කිවයුතුයි. ඔබේ වාදයෙහි රාගක්ඛය එක නිවනක් දෝසක්ඛය එක නිවනක් මෝහක්ඛය එකක්දැයි අකුසල මුල් තුන ක්‍ෂයවීමෙන් නිවන් තුනක් වේ. සතර උපාදාන ක්‍ෂය වීමෙන් සතරක්ද පංච නීවරණ ක්‍ෂයවීමෙන් පහක්ද සවැදෑරුම් තෘෂ්ණා කය ක්‍ෂයවීමෙන් සයක්ද අනුසය සත ක්‍ෂයවීමෙන් සතක්ද මිථ්‍යා අට ක්‍ෂයවීමෙන් අටක්ද තෘෂ්ණාමුල් නවය ක්‍ෂයවීමෙන් නවයක්ද සංයෝජන දහය ක්‍ෂයවීමෙන් දහයක්ද කෙලෙසුන් එක්දහස් පන්සියය ක්‍ෂයවීමෙන් වෙන් වෙන්වූ නිවන්දැයි බොහෝ නිවන් වේ. ඒ නිවන්වල ප්‍රමාණයක් නැත. මෙසේ නොගෙන නිවනට පැමිණ රාගාදිය ක්‍ෂීණ වේයයි එකම නිවන රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය යයි කියනු ලැබේ. මේ තුනම නිවනට සමාන වචන යයි ගන්න.
මෙසේ කියන කල්හිද නොසලකා නම් ඕලාරික බව කරවිය යුතුය. කෙසේද? අඳබාලයෝ වලස්මුව වඳුරු ආදීහු කෙලෙස් නැගිවිට කාම වස්තු සේවනය කරති. සේවනය අවසානයේ කෙලෙසුන් සන්සිඳේ. ඔබේ වාදයෙහි වලස් දිවි මුව වඳුරු ආදීහු නිවනට පැමිණියෝ නම් වෙති. ඔබේ නිවන ඕලාරිකය. මහත් වූ නිසා කනේ පැළඳිය නොහැක. මෙසේ නොගෙන නිවනට පැමිණ රාගාදිය ක්‍ෂීණ වේයයි ද එකම නිවනට රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛ යයි කියනු ලැබේ. මේ තුනම නිවනේ සමාන වචනයයි ගන්න.
මෙසේ කීවිටත් නොසලකා නම් ගෝත්‍රභුවෙන් කරවිය යුතුය. කෙසේද? මුලින් මෙසේ ඇසිය යුතුය. ගොත්‍රභූ ඇතැයි ඔබ කියයිද? ඔව් කියමි. ගොත්‍රභූ ක්‍ෂණයෙහි කෙලෙස් ක්‍ෂය වීද ක්‍ෂය වේද ක්‍ෂය වන්නේද? ක්‍ෂීණ වූයේ නොවේ ක්‍ෂීණ වෙයිද නොවේ. එසේ වුවත් ක්‍ෂීණ වන්නේය. ගොත්‍රභූ කුමක් අරමුණු කෙරේද? නිවන. ඔබේ ගොත්‍රභූ ක්‍ෂණයෙහි කෙලෙස් ක්‍ෂීණ වූයේ නොවේ. ක්‍ෂීණ වෙයිද නොවේ. ඉක්බිති ක්‍ෂය වන්නේය. ඔබ කෙලෙස් ක්‍ෂීණ නොවූ කල්හිම නිවන පනවයි. අනුසය ප්‍රහීන නොවූ කල්හි නිවන පනවයි. එය එයින් සමනය නොවේ. මෙසේ නොගෙන නිවනට පැමිණ රාගාදිය ක්‍ෂීණ වේයයිද එකම නිවන රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛයයි කියනු ලැබේ. මේ තුනම නිවනට සමාන වචනයයි ගන්න.