අනිත්‍යය අනිත්‍ය ලක්‍ෂණය දුක දුක්ඛ ලක්‍ෂණය අනාත්මය අනත්ත ලක්‍ෂණය යන මෙම විභාගය දතයුතුය. එහි අනිත්‍ය යනු ස්කන්‍ධ පංචකයයි. කුමක් හෙයින්ද? ඉපද ව්‍යයයව අනන තත්ත්වයට පත්ව අභාවයට යෑමෙන් හෝ ආකාරය වෙනස්වීමෙන් හෝ යමක් අනිත්‍ය නම් එය දුක් යන වචනයෙන් ඒ ස්කන්ධ පංචකයම දුක් වේ. කුමක් හෙයින්ද? නිතර පෙළීමෙන් නිතර පෙළෙන ආකාරය දුක්ඛ ලක්‍ෂණයයි. යමක් දුක නම් එය අනාත්මය වේ යන වචනයෙන් ඒ පංචස්කන්ධයම අනාත්ම වේ. කවර හෙයින්ද? අවසඟ බැවින් අවසඟ වන ආකාරය අනාත්ම ලක්‍ෂණය වේ යන අනිකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වේ. අනිකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ වේ. පංචස්කන්ධය, දොළොස් ආයතන, අටලොස් ධාතු යන මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වේ. කියන ලද ආකාරය වෙනස්වීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ වේ.
මෙහි සංක්‍ෂෙපයෙන් ආයතන දහයක් කාමාවචරය. දෙකක් ත්‍රෛභූමකය. විමසා බලන සියළු වාර කියන ලදැයි දතයුතුය.
සූත්‍රාන්ත භාජනීයයි.
අභිධර්ම භාජනීය වර්ණනාව
අභිධර්ම භාජනියෙහි යට කියන ලද සේ විදර්ශනා වඩන්නවුනට උපකාර පිණිස චක්ඛායතන රූපායතන යුගල වශයෙන් ආයතනයයි කියන ලදි. එසේ නොකියා අජ්ඣතීතික බාහිර සියළු ආකාරයෙන් ස්වභාවය දැක්වීම සඳහා චක්ඛායතන සෝතායතනයයි මෙසේ අජ්ඣත්තික බාහිර විභාග කිරීමේ නයින් කියන ලදි.
ඔවුන්ගේ නිර්දේශ වාරයෙහි එහි චක්ඛායතනය කවරේදැයි ආදිය යට කියන ලද ක්‍රමයෙන් දතයුතුය.
මේ ධම්මායතන නිද්දේසයෙහි එහි අසංඛත ධාතු කවරේද? රාග ක්‍ෂයය ද්වේෂය ක්‍ෂයය මෝහ ක්‍ෂයය යයි කියන ලදි. එහි අර්ථය මෙසේය. අසංඛත ධාතු යනු අසංඛත ස්වභාව වූ නිවනය. රාගාදිය මෙයට පැමිණ ක්‍ෂය වේ. එහෙයින් රාගක්‍ෂය ද්වේෂක්‍ෂය මෝහක්‍ෂය යයි කියන ලදි. මෙය ආචාර්යවරුන්ගේ සමානාර්ථ වූ කථාවය.
විතණ්ඩවාදීහු මෙසේ කීහ. වෙන් වෙන්වූ නිවනක් නැත. කෙලෙසුන් ක්‍ෂය කිරීමම නිවනයි. සූත්‍ර දක්වවයි කීකල්හි ඇවැත්නි, සාරිපුත්ත, නිවන නිවනයයි කියයි. ඇවැත්නි, නිවන කවරේද? ඇවැත්නි යමෙක් රාගක්‍ෂය දෝෂක්‍ෂය මෝහක්‍ෂය කෙරේද එය නිවනයි. මේ ජම්බුඛාදක සූත්‍රය ගෙනහැර දක්වා වෙන වෙන නිවනක් නැත. කෙලෙසුන් ක්‍ෂය කිරීමම නිවනයි කීය. කිම මේ සූත්‍රයේ යථා අර්ථයදැයි ඇසිය යුතුය. ඒකාන්තයෙන් එසේ යයි ද සූත්‍රය හැර අර්ථයක් නැතැයිද කියයි. ඉක්බිතිව මේ ඒ සූත්‍රයයි. ඊළඟ සූත්‍රය දක්වවයි කිවයුතුය. ඊළඟ සූත්‍රය නම් ඇවැත්නි, සාරිපුත්ත, රහත් රහත් යයි කියයි. ඇවැත්නි, රහත් නම් කවරේද? ඇවැත්නි, යමෙක් රාගක්‍ෂය, දෝසක්‍ෂය, මෝහක්‍ෂය කෙරේද එය රහත් යයි කියයි. මෙය ඊට අනතුරුව හැර දැක්වූ සූත්‍රයයි.
මේ සූත්‍රයෙහි නිවන නම් ධම්මායතනයට ඇතුළත් ධර්මයයි. රහත් නම් සතර ස්කන්‍ධ යයි කීහ. නිවන සාක්‍ෂාත් කොට වෙසෙන ධම්මසේනාපති නිවන ඇසූවිටද රහත්වීම ඇසූවිටද කෙලෙසුන් ක්‍ෂය කිරීමයයි කීහ. කිම නිවනද රහත්වීමද එකමද? නැතහොත් වෙනස්ද? එකම හෝ වෙනස් හෝ වේවා. ඔබ විසින් බොහෝ සෙයින් සුණුකරන අර්ථය මෙහි කොහෙද? ඔබ එකම හෝ වෙනස්බව නොදනී. දැනගැනීම හොඳ නොවේදැයි නැවත නැවත ඇසූවිට වංචා කිරීමට නොහැකිව කීය. රාගාදිය ක්‍ෂීණ වූ කල්හි උපන් හෙයින් රහත්වීම රාගක්‍ෂය, දෝසක්‍ෂය, මෝහක්‍ෂය යයි කියනු ලැබේ. ඉක්බිති ඔබ විසින් මහා කර්මයක් කරන ලදි. අල්ලසක් දුන්නත් මෙයම කියන්නේ යයි ඔහුට කිවයුතුය. මෙය යථා පරිදි බෙදා ඔබ විසින් කියන ලදි. මෙසේ මෙයද සලකන්න. නිවනට පැමිණ රාගාදිය ක්‍ෂීණ වේයයි නිවන රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය යයි කියන ලදි. මේ වචන තුනම නිවනට සමාන වචන වේ.