(6:) ඡක්කනිද්දෙසවණ්ණනා
ඡක්ක නිද්දේසයෙහි යමකින් කිපී හෝ ක්රෝධ වශයෙන් ස්වකීය ලබ්ධිය හෝ ස්ථිරව ගැනීමෙන් කලහ කෝලාහල විවාදවලට පැමිණේ. එනිසා ක්රෝධ ආදිය විවාද මූල යයි කියන ලදි.
ඡන්දරාග නිර්දේශයෙහි ගෙහසිත කාමය ඇති බැවින් ඡන්දරාගා ගෙහසිතා ධම්මා යයි සංග්රහකොට කියා නැවත ප්රභේද දැක්වීමට මනාපියෙසු රූපෙසු යනාදිය කියන ලදි. එහි මනාපියෙසු සිත වැඩීමෙනි. තමාට ඉටු දෙයෙහි විරුද්ධ වූ විරොධ වත්ථුනි වේ. අමනාපියෙසු අනිටු දෙයෙහි.
අගෞරවයෙහි අගාරවො ගෞරව විරහිත අප්පතිස්සො පහත් නොවන පැවැත්ම. මෙහි ශාස්තෲන් ජීවමාන කාලයෙහි යම් භික්ෂුවක් තුන්කාලයෙහි උපස්ථානයට නොයාද ශාස්තෲන් උපාහන නැතිව සක්මන් කරනවිට උපාහන ඇතිව සක්මන් කරයිද පහළ සක්මනෙහි සක්මන් කරද්දී ඉහළ සක්මනෙහි සක්මන් කරයිද පහළ සිටිනවිට උඩ සිටියිද ශාස්තෲන් දකින තැන උභයාංශ කරයිද කුඩය ඉහලා සිටියිද වහන් පයලා සිටීද ස්නානය කරයිද මලමූ කරයිද පිරිනිවන්පෑ කල්හි හෝ සෑය වඳින්ට නොයයි සෑය පෙනෙන තැන ශාස්තෲ දකින තැන කී සියල්ල කරයිද මෙය ශාස්තෲන් කෙරෙහි අගෞරවය වේ. ධර්ම ශ්රවණයට නාද සංඥා කළ කල්හි යමෙක් සකස්ව නොයයිද සකස්ව ධර්මය නොඅසයිද කතා කරමින් සිටියිද සකසා නොගනීද සංවරයෙන් කතා නොකරයිද මෙය ධම්මෙ අගාරවො නම් වේ. වැඩිමල් භික්ෂූන්ගෙන් අවසර නොගෙන යමෙක් බණ කියයිද ප්රශ්න කතා කරයිද වැඩිමල් භික්ෂූන්ගේ ඇඟේ හැපෙමින් යයිද සිටියිද හිඳියිද වාඩිවී සිවුර හෝ දෑත හෝ ගොතා ගනීද සඟ මැද උභයාංශ කර හිදීද කුඩ උපාහන දරයිද මෙය සංඝෙ අගාරවො නම් වේ. එක භික්ෂු නමකට කරන අගෞරවය මුළු සංඝයාටම කරන අගෞරවයකි. ත්රිවිධ ශික්ෂා නොපිරීමම සික්ඛාය අගාරවො නම් වේ. අප්රමාද ලක්ෂණය නොවඩන්නේ අප්පමාදෙ අගාරවො නම් වේ. ද්විධ පිළිසඳර නොකරන්නේ පටිසත්ථාරෙ අගාරවො නම් වේ.
පරිහානියා ධම්මා යනු පරිහානිකර දහම්ය. කම්මාරාමතා යනු නව කර්මයන්හි හෝ සිවුරු පිළියෙල කරන කර්මාන්තයෙහි කැමැත්තෙන් ඇලීම සිටීම. භස්සාරාමතා තිරිසන් කතා වශයෙන් බිණීමෙහි යෙදී සිටීම. නිද්දාරාමතා නිදීමෙහි ඇලීම. සංගනිකාරාමතා පිරිසක් සමග ඇලී වාසය. සංසග්ගරාමතා යනු ඇසීම දොඩමලු වීම පරිභෝග කිරීම කයෙහි ගැටීම යන පස්ආකාර සංසර්ගය ඇති බව. පපංචාරාමතා යනු තෘෂ්ණා මාන දෘෂ්ටි ප්රමාදවීමෙහි යෙදුණු බව.
සොමනස්සුපවිචාරාදියෙහි සොම්නස සමග හැසිරේය යනු සොමනස්සුපවිචාරා නම් වේ. චක්ඛුනා රූපං දිස්වා යනු චක්ඛු විඤ්ඤාණයෙන් රූපයක් බලා. සොමනස්සට්ඨානීයං සොම්නසට අරමුණු වශයෙන් හේතුවූ. උපවිචරති එහි හැසිරීම පැවැත්වීම. විතර්කය වනාහි එයින් යුක්ත යයි යන නයින් ඡක්ක තුනෙහිම අර්ථය දතයුතුය.