අභිධර්ම භාජනීය වර්ණනාව
එහි පටිසම්භිදා තුනක් ලෞකිකය. අත්‍ථ පටිසම්භිදාව ලෞකික ලෝකෝත්තර මිශ්‍රය. එයද නිවන් අරමුණ මග්ගඵල ඤාණ වශයෙන් ලෝකෝත්තර වේ. අභිධර්ම භාජනියෙහි කුසල අකුසල විපාක කිරිය වශයෙන් වාර හතරකින් බෙදන ලදි. එහි යට චිත්තුප්පාද කාණ්ඩයෙහි යම් පමණ කුසල චිත්ත බෙදන ලදද ඒවායේ සියල්ලම වශයෙන් එකිනෙකේ බෙදන නිද්දේසයෙහි සතර බැගින් පටිසම්භිදා බෙදන ලදැයි දතයුතුය. අකුසල සිත්වලද මෙම නයය. විපාක කිරිය වාරයෙහි විපාක කිරියවල අර්ථයෙන් සංග්‍රහ කරන ලද බැවින් ධර්ම පටිසම්භිදාව හැර විපාක සිත් එක එකද කිරිය සිත්වලද තුන බැගින් පටිසම්භිදා බෙදන ලදි. පෙල වනාහි නය මාතෘකා පමණක් දක්වා සංක්‍ෂේප කරන ලදි. එය යට ආවා වූ විස්තර වශයෙන් දැනගත යුතුය.
කුසලාකුසල වාරයෙහි ඒවායේ විපාක ඤාණය අත්‍ථපටිසම්භිදායයි කුමක් හෙයින් කියන ලදද? මෙසේ මෙහි යම් ධර්මයන්ගේ මේ විපාකය ඒවායේ ඤාණය ධම්ම පටිසම්භිදායයි මෙසේ නොකියන ලද්දේ කුමක් හෙයින්ද? යට කියන ලද බැවිනි. මෙසේ ඒවායේ විපාක ඤාණය අත්‍ථ පටිසම්භිදා යයි යට කියන ලද බැවින් මේ අත්‍ථපටිසම්භිදාවද මෙහි නොකිය යුතු වන්නේද? නොකිවයුතු නොව්නනේය. කුමක් නිසාද? යට විපාක කිරිය චිත්තුප්පාද වශයෙන් නොකියන ලද බැවිනි. කිරිය වාරයෙහිද යම් ධර්මයන්ගේ මේ කිරිය යයි වචනයම නොයෙදී යයි. මේ වාර දෙකෙහි තුන බැගින් පටිසම්භිදාව බෙදන ලදි.
එහි යාය නිරුත්තියා තෙසං ධම්මානං පඤ්ඤත්ති හොති යම් නිරුක්තියකින් ඒවායේ ස්පර්ශය වේ යයි ආදි නයින් කියන ලද ධර්මයන්ගේ මේ ස්පර්ශය මේ වේදනාව යයි මෙසේ පැනවීම් වේ. එහි ධම්ම නිරුත්තාභිලාපෙ ඒ අර්ථයෙහි ධර්මයෙහි පවත්වන ඒ ධර්ම නිරුක්තියේ ස්වභාව පැනවීමෙන් කීමෙහි ඤාණය, කියන ශබ්දය අරමුණු කොට උපන් ඤාණයම මෙහිද කියන ලදි. යෙන ඤාණෙන යම් ප්‍රතිභාන පටිසම්භිදා නුවණින්. තාණි ඤාණානි ජානාති ඉතිරි පටිසම්භිදා ඤාණ තුන දනියි.
දැන් යම් ඤාණයක් වේ නම් එය දනී. එසේම එහි සෙසු පවත් දැක්වීමට ඉමානි ඤාණානි ඉදමත්‍ථ ජොතකානි යයි කියන ලදි. එහි ඉදමත්‍ථ ජොතකානි යන මේ අර්ථයේ ප්‍රකාශ කිරීම මේ නම් අර්ථය ප්‍රකාශ කෙරෙති. පිරිසිඳති යන අර්ථයයි. ඉති ඤාණෙසු ඤාණං මේ ආකාරයෙන් පවතින ඤාණ තුනෙහි ඤාණය පටිභාන සම්භිදා නම් වේ.
එහි කිසිවක් මේ පටිභාන සම්භිදා එය මේ කිස එහි මේ කිස යයි ඉතිරි පටිසම්භිදාවල කිස දනී. තමාට ඒවායේ කෘත්‍ය කිරීමට හැකි නොවේ. අල්පශ්‍රැත ධර්ම කථිකයෙකුට බහුස්සුත ධර්මකථිකයෙකු මෙනි. භික්‍ෂු දෙනමක් වූහ. එක්කෙනෙක් බහුස්සුත විය. එක්කෙනෙක් අප්පස්සුත විය. එකටම එකම ධර්මකථා මාර්ගය උගත්හ. එහි අප්පසුත තෙමේ ස්වර (හඬ) සම්පන්න විය. අනිත් භික්‍ෂුව මද හඬ ඇත්තේ විය. ඔවුනතුරෙහි අප්පස්සුත භික්‍ෂුව ගිය ගිය තැන තමාගේ ස්වර සම්පත්තියෙන් සියළු පිරිස් කළඹා ධර්මය දෙසීය. ධර්මය අසන්නෝ තුටුපහටු වූ සිතින් යුක්තව උන්වහන්සේ බණ කියන හැටියට එක් ත්‍රිපිටක ධරයෙක් වන්නේ යයි කථාවෙති. බහුස්සුත භික්‍ෂුව වනාහි මුන්වහන්සේ ත්‍රිපිටක ධරයෙක්ද නැද්ද යන්න ධර්මශ්‍රවණයෙන් දැනගන්න යයි කීවේය. හේ මෙසේ කිසිවක් කීවේය. යම්සේ සියළු පිරිස කළඹා දහම් දෙසීමට හැකිය. මෙසේ කීමේ සමත්කමක් අපට නැත. එහි කිසියම් පටිභාන සම්පත්තියක් බහුස්සුතයට ඇත. ඒ නිසා අප්පස්සුතයාව වඩා කෘත්‍ය්‍යක් දනී. තෙමේ වනාහි ඒ කිස කිරීමට නොහැකි වේයයි දතයුතුය. සෙස්ස පැහැදිලිය.
මෙසේ කුසල් සිත ඉපදීම් ආදි වශයෙන් පටිසම්භිදාව බෙදා දැන් ඒවායේ උත්පත්ති ස්ථාන වූ ක්‍ෂේත්‍ර දැක්වීමට නැවත චතස්සො පටිසම්භිදා යනාදිය කීහ. එහි තිස්සො පටිසම්භිදා කාමාවචර කුසලතො චතුසු ඤාණ සම්පයුත්ත චිත්තෙසු යන මෙය සේඛයන්ගේ වශයෙන් කීහ. ඔවුන් ධර්මය ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි යට කියන ආකාර අරමුණු කර ඤාණ සම්පයුත්ත කුසල් සිත් සතරෙහි ධම්ම පටිසම්භිදාව උපදී. එසේ නිරුක්තිය ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි ශබ්දය අරමුණුකර නිරුත්ති පටිසම්භිදාවද උපදී. සියළු තන්හි ඤාණය අරමුණුකොට පටිභාන සම්භිදාවද
කිරියතො චතූසු යන මෙය වනාහි අසේඛයින්ගේ වශයෙන් කියන ලදි. ඔවුන් ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි යටකියන ලද පස්ආකාර ධර්මය අරමුණු කර ඤාණ සම්ප්‍රයුක්ත කිරිය සිත් සතරෙහි ධම්ම පටිසම්භිදාව උපදී. එසේම නිරුක්තිය ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි ශබ්දය අරමුණුකර නිරුත්ති පටිසම්භිදාව උපදී. ඤාණය ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි සියළු තැන ඤාණය අරමුණුකර පටිභාන පටිසම්භිදාව උපදී.