අභිධර්ම භාජනීය වර්ණනාව
දැන් අභිධර්ම භාජනීය වේ. එහි රූප ස්කන්ධ නිර්දේශය යට රූප කාණ්ඩයෙහි විස්තර කළ ආකාරයෙන් දතයුතුය.
වේදනා ස්කන්ධ නිර්දේශයෙහි එකවිටෙක එක් ආකාරයකින් ඵස්ස සම්පයුත්තොති ස්පර්ශයෙන් යුක්ත වූ සියළු චතුභූමක වේදනා සහේතුක දුකයෙහි සහේතුක චතුභූමක වේදනා අහේතුක කාමාවචර කුසලාදියෙන් කියන ලද වේදනා මේ උපායෙන් දතයුතුය. තවද මේ වේදනා ස්කන්ධය එක් ආකාරයකින් ස්පර්ශය හා යුක්තවූයේ යයි දක්වන ලදි. සහේතුක අහේතුක වශයෙන් දෙයාකාරයකින් ජාති වශයෙන් තුන් ආකාරයකින් අන්තර්භූමි වශයෙන් සතරාකාරයකින් ඉන්‍ද්‍රිය වශයෙන් පස් ආකාරයකින් වේ. එහි සුඛ දුක්ඛ ඉන්‍ද්‍රිය කාය ප්‍රසාද වස්තු කාමාවචරය. සොම්නස් ඉන්‍ද්‍රිය සවැනි වූ වස්තුව හෝ අවස්තුව හෝ ත්‍රෛභූමිකය. දොම්නස් ඉන්‍ද්‍රිය සවැනි වස්තුව හා අවස්තුවද සිව්භූමකය. වස්තු වශයෙන් සයාකාරකින් දක්වන ලදි. එහි පෙර පංච වේදනා පංච ප්‍රසාද වස්තු කාමාවචරය.
එහි මනෝ සම්ඵස්සජ භේදයෙන් සත් ආකාරයකින් දක්වන ලදි. කාය සම්ඵස්සජ භේදයෙන් අට ආකාරයකින් දක්වන ලදි. සත්තවිධ භේදයෙහි මනෝ විඤ්ඤාණධාතු සම්ඵස්සජ භේදයෙන් නව ආකාරයකින් දක්වන ලදි. අටවිධි භේදයෙහි මනෝ විඤ්ඤාණධාතු භේදයෙන් දස ආකාරයකින් දක්වන ලදි. මේ සප්තවිධ භේදයෙහි මනෝ සම්ඵස්සජා, මනෝධාතු සම්ඵස්සජා, මනෝ විඤ්ඤාණධාතු සම්ඵස්සජා යයි තුන් ආකාරයකින් බිඳුනේය. අෂ්ටවිධ භේදයෙහි ඒවා සමග කාය සම්ඵස්සජයද සැප දුක් වශයෙන් දෙයාකාරයකට බිඳුනේය. නවවිධ හා සප්තවිධ භේදයෙහි කියන ලද මනෝ විඤ්ඤාණධාතු ස්පර්ශයෙන් උපන් වේදනාව කුසලාදි වශයෙන් තුන් ආකාරයකට බිඳුනේය. දසවිධ අටවිධ භේදවල කියනලද මනෝ විඤ්ඤාණධාතු ස්පර්ශයෙන් උපන් වේදනාව කුසලාදී වශයෙන්ම තුන් ආකාරයකට බිඳුනේය.
මෙහි කුසලත්‍රිකය පූර්ණ අර්ථයෙන්ම කියන ලදි. හත අට නවය ආකාර බේදවල න්‍යාය දීමට සුදුසු තැන්වල න්‍යාය දෙන ලදි. අභිධර්මයට පැමිණි තථාගතයන් වහන්සේ න්‍යාය දියයුතු තැන්වල න්‍යාය නුදුන්නේ නොවෙති. මෙය දුක මූලයෙහි ඒකවාරයයි.
මේ අභිධර්ම භාජනීයෙහි වේදනා ස්කන්ධය බෙදන බුදුහු ත්‍රිකය ගෙන දුකයෙහි තැබූහ. දුකය ගෙන ත්‍රිකයෙහි තැබූහ. ත්‍රිකයෙහිද දුකයෙහිද දෙකම වැඩෙන ආකාරයෙන් ගෙනහැර දැක්වූහ. සත් ආකාරයකින් සූවිසි ආකාරයකින් තිස් ආකාරයකින් බොහෝ ආකාරයකින් යයි සියළුම ආකාරවලින් වේදනා ස්කන්ධය දෙසූහ. කුමක් හෙයින්ද? පුද්ගල අදහසින් හා දේශනා විලාසය වශයෙනි. ධර්මශ්‍රවණය කළ දෙව්පිරිසෙහි ඇතැම් දෙව්පුත් කෙනෙක් ත්‍රිකය ගෙන දුකයෙහි බහා කියන්නේ අවබෝධ කිරීමට හැකිවෙති. ඔවුන්ගේ සත්පාය වශයෙන් එසේ දෙසූහ. යමෙක් අනිත් ආකාරයෙන් කියනු ලබන්නේ අවබෝධ කිරීමට හැකිවෙති. ඔවුන්ට තුන් ආකාරයකින් දේශනා කළහ. මෙය මෙහි පුද්ගල අධ්‍යාශයෙනි. බුදුන් වහන්සේගේ මහා විෂයපථය නිසා ත්‍රිකය දුකෙහි බහා දුකය ත්‍රිකයෙහි බහා දෙකම වැඩීමෙන් හෝ සප්තවිධ නයින් හෝ යම්සේ කැමති වේද එසේ දේශනා කිරීමට හැකිවෙති. ඒ නිසා මේ ආකාරයෙන් දේශනා කරති. මෙය දේශනා විලාසයයි.
එහි ත්‍රිකය ගෙන දුකයෙහි බහා කළ දේසනාවාරය තිකමූලක නම් වේ. දුකය ගෙන තිකයෙහි බහා කළ දේසනාවාරය දුකමූලක නම් වේ. දුකයද තිකයද දෙකම වඩා කළ දේසනාවාරය උභතෝවර්ධිත නම් වේ. සප්තවිධාදිවාර බහුවිධවාර නම් වේ. මේ එතෙක් සතර මහා වාරයයි.
එහි දුක මූලකයෙහි දුකයෙහි ලැබෙමින් එකිනෙක දුකය සමග තිකයෙහි නොලැබෙන වේදනා තික පීති තික සනිදස්සන තික ඉවත්කොට එකුන්විසි තිකයෙහි යොදා දෙවැනි දුක පළමුවැනි තික යෝජනා වාරාදිය නවසිය පනස්වාරයක් වේ. ඒ සියල්ල පෙළෙහි සංක්‍ෂේප කොට ඒ ඒ දැක්විය යුත්ත දක්වා කියන ලදි. මුළා නොවන්නහු විසින් විස්තර වශයෙන් දතයුතුය.