කමාදිවිනිච්ඡයකථා
මෙසේ ප්රකීර්ණ වශයෙන් ස්කන්ධ දැන,
නැණ බේදරුත් කඳු - පිළිවෙල වෙසෙස් ලෙසිනේ
අඩු වැඩි නොවීමෙන් - උපමා විසින් එලෙසම
අඩු වැඩි නොවීමෙන් - උපමා විසින් එලෙසම
දකිමින් අරුත් සිදු - වනයුරු දෙපරිදි මෙසේ
විනිස නය මැනවින් - දතුයුතු පඬිවරු විසින්
විනිස නය මැනවින් - දතුයුතු පඬිවරු විසින්
එහි කමතො යන මෙහි උත්පත්ති ක්රම, ප්රහාන ක්රම, ප්රතිපත්ති ක්රම, භූමි ක්රම, දේශනා ක්රම යන ක්රම බොහෝ ආකාරය.
“පඨමං කලලං හොති කලලං හොති අබ්බුදං” මේ ආදිය උත්පත්ති ක්රම වේ. දැකීමෙන් කෙලෙස් දහම් ප්රහාණ කළයුතුය. භාවනාවෙන් කෙලෙස් ප්රහාණ කළයුතුය. මේ ආදිය ප්රහාණ ක්රම වේ. සීල විසුද්ධි චිත්ත විසුද්ධි ආදිය ප්රතිපත්ති ක්රම වේ. කාමාවචර රූපාවචර ආදිය භූමි ක්රම වේ. සතර සතිපට්ඨාන සතර සම්මප්පධාන හෝ දාන සීල කතාදිය දේශනා ක්රම වේ. ඒවා අතර මෙහි උත්පත්ති ක්රමය නොයෙදේ. කලලාදිය මෙන් ස්කන්ධයන්ගේ පෙර අපර වෙන් කිරීමෙන් නොඉපදවීම් වශයෙන්ද කුසල අව්යාකෘත ප්රහාණ නොකිරීම් වශයෙන් ප්රහාණ ක්රමය නොයෙදේ. අකුසල හා පිළිපැදීම් වශයෙන් ප්රතිපත්ති ක්රමය නොයෙදේ. වේදනාදියේ චතුභූමක ඇතුළත් හෙයින් භූමි ක්රමය නොයෙදේ.
දේශනා ක්රමය වනාහි යෙදේ. පංච ස්කන්ධයෙහි අභේදයෙන් ආත්ම යයි ගැනීම කළ විනේය ජනයන් ඝන සමූහය වෙන්කිරීම දැකීමෙන් ආත්ම ග්රහණයෙන් මුදවනු කැමති භාග්යවතුන් වහන්සේ හිතකාමීව ඒ ජනයින්ට සුවසේ ගැනීම පිණිස චක්ෂු ආදියට විෂය වූ ඕලාරික වූ රූප ස්කන්ධය පළමුව දේශනා කළ සේක. ඉක්බිතිව ඉටු අනිටු රූප සංවේදී වූ වේදනාවද යමක් විඳගනීද එය දැනගනී යන මෙසේ වේදනා විෂයේ ආකාර ගන්නා සංඥාවද සංඥාව විසින් අභිසංස්කාර වූ සංස්කාරයද ඒ වේදනාදියට නිශ්රය වූ අධිපති වූ විඤ්ඤාණය ද දේශනා කළහ. මෙසේ ක්රම වශයෙන් විනිස දතයුතුය.
ස්කන්ධද උපාදානස්කන්ධද විශේෂ වේ. ඒවායේ විශේෂය කුමක්ද? මෙතෙක් ස්කන්ධ අවිශේෂයෙන් කියන ලදි. උපාදානස්කන්ධය ආශ්රව සහිතව ගැනීමේ හේතුවෙන් වෙසෙසා කීහ.
“මහණෙනි, මේ පංච උපාදාන ස්කන්ධයෙහි ස්කන්ධ පහ දේශනා කරමි. එය අසන්න. මහණෙනි, පංචස්කන්ධය කවරේද? මහණෙනි, අතීත අනාගත වර්තමාන...... සමීප හෝ යම් රූපයක් වේද මහණෙනි, මෙය රූපස්කන්ධ යයි කියනු ලැබේ. යම්කිසි වේදනාවක් වේද...... යම්කිසි සංඥාවක් වේද..... යම්කිසි සංස්කාරයක් වේද...... යම්කිසි විඤ්ඤාණයක් වේද. මෙය විඤ්ඤාණ ස්කන්ධ යයි කියනු ලැබේ. මහණෙනි, මෙය පංචස්කන්ධ යයි කියනු ලැබේ. මහණෙනි, පංච උපාදානස්කන්ධය කවරේද? මහණෙනි, යම්කිසි රූපයක්...... සමීප වූ හෝ ආසව සහිතව දැඩිව ගනීද මහණෙනි, මෙය රූපඋපාදානස්කන්ධයයි. යම්කිසි වේදනාවක්....... යම්කිසි සමීප වූ හෝ විඤ්ඤාණයක් ආසව සහිතව දැඩිව ගනීද මහණෙනි, මෙය විඤ්ඤාණ උපාදානස්කන්ධයයි. මහණෙනි, මෙය පංචඋපාදානස්කන්ධයයි.