වේදනාස්කන්‍ධ නිර්දේශය
වේදනාස්කන්‍ධ නිර්දේශාදියෙහි යට කියන ලද සමාන ඒවා හැර පෙර නොකියන ලද ඒවා පමණක් වර්ණනා කරමි. යාකාචි වෙදනා චතුභූමක වේදනා ගනු ලැබේ. සැප වේදනා ආදිය අතීතාදි වශයෙන් විස්තර කළ වේදනාව ස්වභාව වශයෙන් දැක්වීමට කියන ලදි. එහි සැප වේදනාව කායික චෛතසික වශයෙන් නැත. දුක් වේදනාවද එසේය. අදුක්ඛමසුඛ වේදනාව චක්‍ෂු ආදී ප්‍රසාද කාය නිසා කායිකව සහ චෛතසිකව ඇත. එහි සියළු කායික වේදනා කාමාවචරය. චෛතසික දුක්වේදනාද එසේය. චෛතසික සැප වේදනා වනාහි ත්‍රෛභූමිකය. (කාම, රූප, අරූප) අදුක්ඛමසුඛ වේදනාව චතුභූමිකය. එහි සියළු ආකාර පරම්පරා වශයෙන් ක්‍ෂණ ආදී වශයෙන් අතීතාදිභාවය දතයුතුය.
එහි පරම්පරා වශයෙන් එක් චිත්ත වීථියක එක් ජවනයක එක් සමාධියක ඇතුළත් එක් විෂයක යෙදුනේ වර්තමානය. එයින් පෙර අතීතය. එයින් පසු අනාගතය. ක්‍ෂණාදී වශයෙන් ක්‍ෂණත්‍රයට ඇතුළත් පෙර අපර මැදට ගිය කෘත්‍යයක නියැළි වේදනාව වර්තමානය. ඉන් පෙර අතීතය. එයින් පසු අනාගතය. [missing trans]
ඕලාරික සුඛුම විවරණයෙහි අකුසලා වේදනා ආදිය ජාති වශයෙන් ඕලාරික බව දැක්වීමට කියන ලදි. දුක්ඛා වේදනා ඔලාරිකා ආදිය ස්වභාව වශයෙනි. අසමාපන්නස්ස වෙදනා ආදිය පුද්ගල වශයෙන් දැක්වීමට කියන ලදි. සාසවා ආදිය ලෞකික ලෝකෝත්තර වශයෙන් ඕලාරික සුඛුම බව දැක්වීමට කියන ලදි. එහි අකුසල සිත් තැවුල් අර්ථයෙන්ද දුක් විපාක අර්ථයෙන්ද ඕලාරික වෙයි. කුසල සිත් තැවුල් නැති අර්ථයෙන්ද සැප විපාක අර්ථයෙන්ද සුඛුම වෙයි. අව්‍යාකෘත සිත් නිරුත්සාහ අර්ථයෙන්ද අවිපාක අර්ථයෙන්ද සුඛුම වේ. කුසල අකුසල උත්සාහ සහිත හා විපාක සහිත අර්ථයෙන් ඕලාරික වේ. අව්‍යාකෘත කලින් කී නයින් සුඛුමය.
දුක් අමිහිරි සහ දුක් යන අර්ථයෙන් ඕලාරිකය. සැප මිහිරි සහ සැප යන අර්ථයෙන් සුඛුමය. අදුක්ඛම සුඛ ශාන්ත සහ ප්‍රණීත අර්ථයෙන් සුඛුමය. සැප දුක් කැළඹීම් සහ පැතිරීම් අර්ථයෙන් ඕලාරිකය. සැප වේදනාවද කැළඹෙයි. පැතිරෙයි. දුක් වේදනාවද එසේය. සැප උපදින විට සියළු සිරුර කළඹමින්, අළලමින් මත් කරමින් සඟවමින් සිහිල් දියැති කලයකින් දිය ඉසින්නාක් මෙන් උපදියි. දුක් උපදින විට රත්වූ තලියක් ඇතුළට පිවිසවන්නාක් මෙන් ගිනි හුළකින් බාහිර ශරීරය දමන්නාක් මෙන් උපදියි. අදුක්ඛමසුඛ කී ආකාරයෙන් සුඛුමය. අසමාහිත වේදනා නොයෙක් අරමුණුවල වික්‍ෂිප්ත භාවයෙන් ඕලාරිකය. සමාහිත වේදනා එක් අරමුණක හැසිරෙන නිසා සුඛුම වේ. ආශ්‍රව සහිත රූප ආශ්‍රව උත්පත්ති හේතුවෙන් ඕලාරික වේ. ආශ්‍රව හැසිරීම ඒකාන්තයෙන් ඕලාරිකය. අනාශ්‍රව කියන ලද ආකාරයට වෙනස් නිසා සුඛුම වේ.
එහි කෙනෙක් කුසලත්‍රිකයෙහි දක්‍ෂ නොවේ. වේදනාත්‍රිකයෙහිද දක්‍ෂ නොවේ. හේ කුසලත්‍රිකය රකිමියි වේදනාත්‍රිකය බිඳියි. වේදනාත්‍රිකය රකිමියි කුසලත්‍රිකය බිඳියි. කෙනෙක් ත්‍රිකය රකිමින් භූමි අන්තරය බිඳී. කෙනෙක් නොබිඳිති. කෙසේද? සැප දුක් වේදනා ඕලාරිකය. අදුක්ඛමසුඛ වේදනා සුඛුම යයි වේදනාත්‍රිකයෙහි කියන ලදි. සියළු අදුක්ඛමසුඛ සුඛුම නොවේයයි කෙනෙක් එය ප්‍රතික්‍ෂේප කරති. එහි කුසල්ද අකුසල්ද අව්‍යාකෘතද ඇත. එහි කුසල අකුසල ඕලාරිකය. අව්‍යාකෘත සුඛුමය. කුමක් හෙයින්ද? කුසලත්‍රික පෙළෙහි ආ බැවිනි. මෙසේ කුසලත්‍රිකය රැක්කේ වෙයි. වේදනාත්‍රිකය බිඳී ගියේය.