රූපස්කන්‍ධ නිර්දේශය
දැන් ඒ රූපස්කන්ධාදිය විභාගකොට දැක්වීම සඳහා තත්‍ථ කතමො රූපක්ඛන්‍ධො ආදිය කීහ. එහි තත්‍ථ යනු පඤ්ච ස්කන්‍ධයන් අතරින් කවරක්දැයි කියනු කැමතිව නැගූ ප්‍රශ්නයයි. රූපක්ඛන්‍ධ යනු ඇසූ ප්‍රශ්නයට ධර්ම පිළිතුරයි. දැන් එය විභාග කරන්නේ යං කිංචි රූපං යනාදිය කීහ. එහි යං කිංචි නිරවශේසයෙන් ගැනීමයි. රූපංති දැඩිකොට යෙදීමේ නියමයයි. මෙසේ පද දෙකෙන්ම රූපයේ නිරවශේෂ ගැනීම කළා වේ.
එහි කුමන අර්ථයකින් රූප වේද? වෙනස්වීම් අර්ථයෙන් රූප වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් එහෙයින් කියන ලදි.
“මහණෙනි, කුමකට රූපය කියයිද මහණෙනි, වෙනස්වීමටය. එහෙයින් රූපය යයි කියනු ලැබේ. කුමකින් කුමක් වේද? සීතලෙන් වෙනස් වෙයි. උෂ්ණයෙන් වෙනස් වේ. සාගින්නෙන් වෙනස් වේ. පිපාසයෙන් වෙනස් වේ. මැසිමදුරු, වාතය, අව්ව, විසකුරු සතුන් ස්පර්ශ වීමෙන්ද වෙනස් වේ. මහණෙනි, ඒ නිසා වෙනස්වීම රූපයයි කියයි.
එහි කිං යනු කරුණු විමසීමයි. කුමන කරුණකින් රූපයයි කියයිද? කුමන කරුණකින් එය රූපය නම් වේද යන අරුතය. රුප්පතීති යන මෙහි ඉති යනු හේතුව දැක්වීමයි. යම් හෙයකින් වෙනස්වේද එහෙයින් රූප යයි කියයි යන අර්ථයයි. රුප්පත යනු කිපේ, ගැටේ, පෙළයි, බිඳෙයි යන අර්ථයි. මෙසේ මෙපමණකින් වෙනස්වීම් අර්ථයෙන් රූපය කියන ලදි. වෙනස්වන ලක්‍ෂණයෙන් ද රූපයයි කීම වටී. එසේම වෙනස්වන ලක්‍ෂණය යන මෙය
සීතෙන’පි රුප්පති යනාදියෙහි සීතලෙන් වෙනස්වීම් පළමුකොට ලෝකාන්තරික නරකයෙහි ප්‍රකටය. සක්වලවල් තුනෙන් තුනට ලෝකාන්තරික නරකයක් වේ. එහි යට පොළොවක් නැත. උඩ සඳ හිරු පහන් මැණික් ආලෝක නැත. නිරන්තර අඳුරය. එහි ඉපදුනු සත්ත්වයින්ගේ තුන්ගව් පමණ ශරීර වේ. ඔවුහු වවුලන් මෙන් දික්වූද? පළල් වූද නියවලින් කඳු බෑවුම අල්වා හිස පහතට එල්බගෙන සිටිති. යම්කලක ඔවුනොවුන් අත් පසයට ගියවිට කෑමට දෙයක් ලැබුණේ යයි සිතමින් කැරකී ලොව දරණ ජලයෙහි වැටෙති. සීතල වායු පහරින් පැසුණු මීගෙඩි මෙන් පැලී ජලයෙහි වැටෙති. වැටුණු කෙනෙහි අතිශයින් සීත වූ ලුණු වතුරෙන් ඉරුණු සමින් නහර මස් ඇට බිඳෙන කල්හි තෙලෙහි වැටුණු පිටි පිඬක් මෙන් පට පට නදින් විනාශ වෙති. මෙසේ සීතලෙන් වෙනස්වීම ලෝකාන්තරික නිරයෙහි ප්‍රකටය. මහිංසක රටවල් ආදියෙහි හිම වැටෙන ප්‍රදේශවල මෙය ඉතා ප්‍රකටය. එහි සත්ත්වයෝ සීතලෙන් සිඳුණු බිඳුණු ශරීර ඇත්තෝ මරණයට ද පත්වෙති.
උෂ්ණයෙන් වෙනස්වීම අවීචිමහා නිරයෙහි ප්‍රකටය. එහි රත්වූ ලෝහ පොළොවෙහි හොවවා පස් ආකාර වූ බැඳීම් කරන කල්හි සත්ත්වයෝ මහත්වූ දුකක් විඳිති.
සාගින්නෙන් වෙනස්වීම ප්‍රේත ලෝකයෙහි සහ දුර්භික්‍ෂ කාලයෙහි ප්‍රකටය. ප්‍රේත ලෝකයෙහි වනාහි බුද්ධාන්තර දෙකතුනකින්වත් කිසිම ආහාරයක් අතින් ගෙන කටෙහි දමා ගැනීමක් ඇති සත්ත්වයෝ නොවෙති. බඩ ඇතුළත ගිනි ඇවිළගත් සිදුරු සහිත ගසක් මෙන් වෙයි. දුර්භික්‍ෂ කාලයෙහි කැඳ පමණකුදු නොලබා මරණයට පත්වන්නන්ගේ ප්‍රමාණයක් නැත.
පිපාසයෙන් වෙනස්වීම කාලකඤ්ජිකාදියෙහි ප්‍රකටය. එහි සත්ත්වයෝ බුද්ධාන්තර දෙකතුනක්වත් හෘදය තෙමෙන පමණකුදු, දිව තෙමෙන පමණකුදු දියබිඳක් ලබන්නට නොහැකි වෙති. ජලය පානය කරන්නෙමු යයි ගංගාවට ගියවුන්ටද ගං හෝ සිඳී වැලි මතු වෙයි. මහා සමුදුරට පැනගත්තවුන්ට ද මහා සාගරය සමතලා ගල්තලාවක් වෙයි. ඔවුහු වියළෙමින් මහත් වූ දුකෙන් පෙළෙමින් හැසිරෙති.