7. සත්තක නිද්දේස වර්ණනාව
සත්තකයෙහි සකිං නිමුග්ගො යනු එක්වරක් ගිලුණු. එකන්ත කාළකෙහි ඒකාන්තයෙන්ම කළුදහමින්, නාස්තිකවාද අහේතුකවාද අකිරියවාද සංඛ්‍යාත නියත මිථ්‍යාදෘෂ්ටික ධර්මවලින්. එවං පුග්ගලො මේ කාරණයෙන් පුද්ගලයා එක්වරක් නිමුග්ගො ගිලුනේ එසේ නිමුග්ගොව ගිලුනේම වේ. මේ භවතාට වනාහි ගොඩඒමක් නම් නැතැයි කියති. මක්ඛලීගෝසාලාදීහු මෙන් යට යට නරක ගිනිම ආහාර වේ.
සාහු සද්ධා කුසලෙසු ධම්මෙසු කුසල ධර්මයන්හි ශ්‍රද්ධාව නම් යහපත් ඇදහීමකි. හිරී ආදියෙහි ද මෙම නයම වේ. උච්චුජ්ජතී එපමණකින් කුසලයෙන් මතු වූයේ වේ. හායතිමෙව කිරිගොට්ටෙහි වත්කළ දිය මෙන් පිරිහේමය. එවං පුග්ගලො මෙසේ වහා ශ්‍රද්ධාව ඇති මේ ශ්‍රද්ධාදීන්ගේ වශයෙන් එක්වරක් ගොඩනැගී ඔවුන්ගේ පිරිහීමෙන් නැවත ගිලේමය. දේවදත්තාදීන් මෙන් දේවදත්තයා වනාහි අෂ්ට සමාපත්ති පංචාභිඥා උපදවාද බුදුවරුන්ට විරුද්ධ වූ බැවින් ඒ ගුණවලින් පිරිහුනේ ලේ සෙලවීමේ කර්මය ද සංඝභේද කර්මය ද කොට මරණින් පසු දෙවන චිත්තවාරයෙන් නිරයේ උපන්නේය. කෝකාලිකයා අගසව් දෙනමට දොස් කියා පදුම නිරයෙහි උපන්නේය.
නෙව හායති නො වඩ්ඪති පොහොනා නො කල්හිද නො පිරිහේ. පොහොනා කාලයෙහි ද නො වැඩේ. මෙහි අගාරික අනගාරික දෙදෙනාම දැක්විය යුතුය. ඇතැම් අගාරිකයෙක් (ගිහියෙක්) නො සෑහෙන කාලයෙහි පක්ෂ බත හෝ සලාක බත හෝ වස්සාවාසික බත හෝ ආරාධනා කරයි. හේ පසුව සෑහෙන කාලයෙහි ද පක්ෂ බත ආදිය පමණක් පවත්වයි. අනගාරිකයා ද නො සෑහෙන කාලයෙහි උද්දේසය හෝ ධුතංගය හෝ ගනියි. ඤාණය විරිය සම්පත්තියෙන් සෑහෙන කාලයෙහි ද එයින් එහා යමක් නොකරයි. එවං පුග්ගලො මෙසේ මේ ශ්‍රද්ධාදියෙන් සිටි පුද්ගලයා උම්මුජ්ජිත්වා ඨිතො නම් වේ.
උම්මුජ්ජිතා විපස්සති විලොකෙති සෝවාන් පුද්ගලයා නැගී සිට ගමන් මාර්ගයේ යා යුතු දිසාව හෝ බලන්නේ නම් වේ.
උම්මුජ්ජිත්වා පතරති සකදාගාමි පුද්ගලයා කෙලෙස් තුනී බැවින් නැගී සිට යා යුතු දිසාවට හැරී එගොඩ වෙයි.
පතිගාධප්පත්තො හොති අනාගාමී පුද්ගලයා නැගී සිට බලා එගොඩ වී ගොස් එක් ස්ථානයක සිටියේ වේ. සිටියි. නැවත නො එයි.
තිණ්ණො පාරංගතො ථලෙ තිට්ඨති - සියළු ක්ලේශ ඕඝයන් තරණයකොට පරතෙරට ගොස් නිර්වාණ ථලයෙහි සිටියේ වේ. මේ පුද්ගලයෝ සත්දෙනා වනාහි ජල උපමාවෙන් දක්වන ලදී.
සත වනාහි, ඇවිදින වෙළෙන්දෝ දීර්ඝ මාර්ගයට පිළිසන්පන්නේ අතරමග පිරුණු නදියක් වෙත පැමිණියහ. ඔවුනතුරෙන් පළමුවැන්නා ජලයට බිය පුද්ගලයෙකු නිසා බැස්ස තැනම ගිලී නැවත උඩ ඒමට නොහැකි විය. ඇතුළේම මස් කැසුබු ආදීන්ට ගොදුරු විය. දෙවැන්නා බැස්ස තැන ගිලී වරක් මතුවී නැවත ගිලී මතුවීමට නොහැකි විය. ඇතුළේ මස්කැසුබු ආදීන්ට ගොදුරු විය. තුන්වැන්නා ගිලී මතුවී ගඟේ මැද සිට මෙතෙරට ඒමට හෝ එතෙරට යෑමට නොහැකි විය. සතරවැන්නා නැගී සිටියේ එතෙර තොට බැලීය. පස්වැන්නා එතෙරවන තොට බලා පීනයි. සවැන්නා තරණයකොට පරතෙරට ගොස් ඉඟ පමණ ජලයෙහි සිටියේය. සත්වැන්නා පරතෙරට ගොස් සුවඳ සුණු ආදියෙන් ස්නානය කොට උතුම් ඇඳුම් ඇඳ සුරභි ආලේපනය කොට, නිල් උපුල් ආදිය පැළඳ නොයෙක් අලංකාරයෙන් සැරසුනේ මහා නගරයට පිවිස උතුම් ප්‍රාසාදය නැගී උතුම් භෝජන අනුභව කළේය.
එහි පදික වෙළෙන්දෝ සත්දෙනා මෙනි. මේ පුද්ගලයන් සත්දෙනා සසර නදිය මෙනි. දියට බිය පළමු පුද්ගලයා බැස්ස තැනම ගිලුණා මෙන් මිසදිටුවා සසරෙහි ගැලීම. ගිලී මතු වූ පුරිසයා මෙනි. ශ්රද්ධාදියේ ඉපදීම් මාත්‍රයෙන් නැගී ඒවායේ පරිහානියෙන් ගිලෙන පුද්ගලයා ගඟ මැද සිටියහු මෙන් ශ්රද්ධාදියේ ස්ථිතියෙන් සිටි පුද්ගලයා. එතෙර කොට බලන්නා මෙන් යායුතු මග යායුතු දිසාව බලන සෝවාන් පුද්ගලයා. එගොඩ පීනන පුඟුලා මෙන් කෙලෙස් තුනී සකෘදාගාමී පුද්ගලයා. කරණය කොට ඉඟ පමණ ජලයේ සිටි පුද්ගලයා මෙනි. නොපවතින ධර්මතාවෙන් සිටි අනාගාමී පුද්ගලයා, ස්නානය කොට පරස්පෙරින් එතෙරව ගොඩබිම සිටි පුද්ගලයා මෙනි. ඕඝ සතර තරණයකොට නිවන් තලයෙහි සිටි ක්ෂීණාශ්රව බ්‍රාහ්මණයා ගොඩ සිටි පුද්ගලයා නගරයට පිවිස ප්‍රාසාදයට නැගී උතුම් භෝජනය මෙන් ක්ෂීණාශ්රවයා නිවන් අරමුණෙන් ඵලසමාපත්තියට පැමිණ ගතකිරීම දතයුතුය. උභතොභාග විමුක්තාදිය යට පවසන ලදමය.