1. ඒකක නිද්දේස වර්ණනාව
දැන් තබන ලද මාතෘකා මුල සිට බෙදා දැක්වීමට කතමො ච පුග්ගලො සමයවිමුත්තො යනාදිය කීය. එහි ඉධ යනු මේ සත්ත්ව ලෝකයෙහි එකච්චො පුග්ගලො යනු එක් පුද්ගලයෙක්. කාලෙන කාලං යනු මෙහි භූමි වශයෙන් අර්ථය දතයුතුය. එක එක කාලය යයි කියන ලදී. සමයෙන සමයං මෙය පෙරසේය. ඒ පැසෙන දහම්වලින් මිදීමෙන් විමොක්ඛ නම් වේ. කායෙන යනු විමෝක්ෂය සමග ඇති වූ නාම කයින්. ඵුසිත්වා විහරති යනු ප්රතිලාභ ලැබ ඉරියව් පවත්වයි. කුමන කාලයක විමුක්තිය ලැබ වාසය කරයිද? සමාපත්තියට සමවැදීමට කැමැත්තාට කාලය නම් ඇත. අකාලයක් නම් නැත. එහි උදෑසනම සිරුර පිළිදැගුම් කරන කාලයයි. වත් කරන කාලය ද සමවදින්නාට අකාල නම් වේ. ශරීර කෘත්ය කර වත්කොට වසන තැනට පිවිස සිටින්නාට පිඬු පිණිස හැසිරෙන කාලය නො පැමිණියේ ද මේ අතරෙහි සමවදින්නාට කාලය වේ.
පිඬු සිඟා යන කාලය සලකා නික්මෙන්නාට චේතිය වඳින කාලය, බික්සඟන ගමේ හැසිරෙන කාලය, ආසන සාලාවෙහි කැඳ වළඳන කාලය, වත් පිළිවෙත් කරන කාලය යයි මෙයද සමවදින්නාට අකාල නම් වේ. ආසන සාලාවෙහි විවේක අවසරයක් ඇති කල්හි දාන වෙලාව නො පැමිණිවිට මේ අතරෙහි ද සමවදින්නාට කාලය වේ. දන් වළඳන කාලය විහාරයට යන කාලය පා සිවුරු තැන්පත් කරන කාලය දිවා වත් කරන කාලය විමසීම් දෙන කාලය යයි මෙය ද සමවදින්නාට අකාලද අසමය ද වේ. ඒ සියල්ල හැර අවසේස කාලයෙහි අවසේස සමයෙහි කියන ලද ආකාරයෙහි විමෝක්ෂ අට සමග නාම කයින් ඇතිවූ ප්රතිලාභ ලැබ වාසය කරන්නේ ඉධෙකච්චො පුග්ගලො -පෙ- විහරති යයි කියනු ලැබේ.
තවද මෙය ස්පර්ශය සමග හටගත් ධර්මවලින් සමග හටගත් ධර්ම ස්පර්ශ කෙරේ නම් වේ. උපචාරයෙන් අර්පණාව ස්පර්ශ කෙරේනම් වේ. පෙර අර්පණාවෙන් පසු අර්පණාව ස්පර්ශ කෙරේ. යමක් සමග යම් ධර්ම හටගත්තේ නම් එයින් එසේ ප්රතිලාභ නම් වේ. ස්පර්ශයෙන් ද ස්පර්ශ කළා නම් වේ. උපචාරය ද අර්පණාවෙන් ප්රතිලාභ කරුණකි. පෙර අර්පණා පසු අර්පණා ද එසේය. එහි සහජාතවලින් සහජාතවල ස්පර්ශ කිරීම දතයුතුය. ප්රථම ධ්යානයෙහි විතක්කාදි අංග පහ. එහි ඒ අංග හැර සෙසු අතිරේක පනස් දහම් සතර ස්කන්ධ වේ. ඒ නාම කයින් ප්රථම ධ්යාන සමාපත්ති විමුක්තිය ස්පර්ශ කොට වාසය කරයි. දුතිය ධ්යානය පීති සුඛ චිත්ත ඒකග්ගතාවලින් අංග තුනය. තෘතීය ධ්යානය සුඛ චිත්ත ඒකග්ගතාවලින් අංග දෙකය. සතරවැනි ධ්යානය උපෙක්ඛා චිත්ත ඒකග්ගතාවලින් අංග දෙකය. ආකාසානඤ්චායතනය....... නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ද එසේය. එහි ඒ අංග හැර සෙසු අතිරේක පනස් දහම් ස්කන්ධ සතර නම් වේ. ඒ නාම කයින් නේවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්ති විමුක්තිය ස්පර්ශකොට පිළිලැබ වාසය කරයි.
පඤ්ඤාය චස්ස දිස්වා යනු සංස්කාර විදර්ශනා ප්රඥාවෙන් ද චතුරාර්ය සත්ය මාර්ග ප්රඥාවෙන් ද දැක. එකච්චෙ ආසවා පරික්ඛීණා හොන්ති ප්රථම මාර්ග ආදියෙන් ආශ්රව ක්ෂණ වේ. අයං වුච්චති පුග්ගලො සමයවිමුත්තො යන මෙහි අෂ්ට සමාපත්තිලාභී පෘථග්ජනයා ඒ නාමකයින් ස්පර්ශකොට වාසය කෙරේ යයි කීමට වටී. පෙළෙහි වනාහි එකච්චෙ ආසවා පරික්ඛීණාති වුත්තං (ඇතැම් ආශ්රව පරික්ෂීණා යයි කියන ලදී.) පුහුදුන් පුඟුලාට ක්ෂීණ වූ ආශ්රවයන් නම් නැත. එනිසා ඔහු නොගන්නා ලදී. අෂ්ට සමාපත්තිලාභී ක්ෂීණාශ්රවයන් වහන්සේ ද ඒ නාමකයින් ස්පර්ශකොට වාසය කරති යයි කීමට වටී. උන්වහන්සේ වනාහී ක්ෂීණ නොවූ ආශ්රවයන් නැත. එනිසා උන්වහන්සේ ද නො ගන්නා ලදී. සමය විමුත්තො යනු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන තුන්දෙනාම යයි දතයුතුය.