එක් සෝතාපන්නයෙක් සසර කැමති වේ. සසරට ඇලුනේ නැවත නැවත සසරෙහිම හැසිරේ. දක්නා ලැබේ. අනේපිඬු සිටුතුමා, විසාඛා මහා උපාසිකාව, චූලරථ මහාරථ දෙවිපුත්වරු, අනේකවණ්ණ දේවපුත්රයා, සකදිව්ය රාජයා, නාගදත්ත දෙවිපුතා මේ මෙපමණ දෙනා සසර කැමැත්තේ සසර ඇළුණෝය. මුල සිට දෙව්ලෝ සය ශෝධනය කොට අකනිට්ඨයෙහි සිට පිරිනිවන් පාන්නෝය. මොවුන් මෙහි නොගන්නා ලදී. යමෙක් මිනිස් ආත්මවලම සත්වරක් සැරිසරා රහත්බවට පැමිණේ. යමෙක් දෙව්ලෝ ඉපිද දෙවියන් අතරම නොසන්සිඳී සත්වරක් සැරිසරා රහත්බවට පැමිණේ. මොව්හුද මෙහි නොගන්නා ලදී. මිශ්ර භව වසයෙන්ම සත්තක්ඛත්තුපරම හා කෝලංකෝලයෝ වෙති. මනුෂ්යභවයෙහි උපන්නාම ඒකබීජි යයි ගන්නා ලද බව දතයුතුය. එහි එක් එක්කෙනා දුක්ඛාපටිපදාදි වශයෙන් සතරාකාරයට පැමිණේ. සද්ධා ධුරයේ සත්තක්ඛත්තුපරම සතරදෙනා, කොලංකොල සතරදෙනා, එකබීජි සතරදෙනා යයි දොලොස් දෙනෙක් වෙති. ප්රඥාවෙන් නිපදවීමට හැකි යයි මම ලොවුතුරා දහම් නිපදවන්නෙමියි මෙසේ ප්රඥාව ධුර කොට සත්තක්ඛත්තුපරමාදභාවයට පැමිණියෝ ද ප්රතිපදා වශයෙන් දොළහක්ම යයි. මේ සෝතාපන්නයෝ විසිහතර දෙනා ඉහට්ඨකතිජ්ඣානික (මෙහි අටක් ඇති වැටහීම්) වශයෙන්ම මේ ස්ථානයෙහි කියන ලදැයි දතයුතුය.
සකදාගාමි නිද්දේසයෙහි ප්රතිසන්ධි වශයෙන් එක්වරක් පැමිණේ යයි සකදාගාමි වේ. සකිදෙව යනු එක්වරක්ම වේ. ඉමං ලොකං ආගතවො යන මේ සකදාගාමි පස්දෙනාගෙන් සතර දෙනෙක් හැර එක්කෙනෙක්ම ගන්නා ලදී. එක්කෙනෙක් මෙහි සකදාගාමි ඵලයට පැමිණ මෙහිම පිරිනිවෙයි. එක්කෙනෙක් මෙහි පැමිණ දෙව්ලොව පිරිනිවෙයි. එක්කෙනෙක් දෙව්ලොවට පැමිණ මෙහි ඉපදී පිරිනිවෙයි. මේ සතරදෙනා මෙහි නොගන්නා ලදී. යමෙක් වනාහි මෙහි පැමිණ දෙව්ලොව ආයු තෙක් වැස නැවත මෙහි ඉපිද පිරිනිවෙයි. මේ එක්කෙනාම මෙහි ගන්නා ලදැයි දතයුතුය. මෙහි කිවයුතු සෙසු යමක් වේ නම් ඒ සියල්ල ඉහත ධම්මසංගහ අටුවා කථාවෙහි ලෝකෝත්තර කුසල නිද්දේසයෙහි කියන ලද්දේමය. මේ සකදාගාමියා ඒකබීජියා සමග කිම වෙනසක් වේද? ඒකබීජියා එකම ප්රතිසන්ධියකි. සකදාගාමියා ප්රතිසන්ධි දෙකකි. මෙය ඔවුන්ගේ වෙනස් වේ.
අනාගාමි නිද්දේසයෙහි ඔරම්භායොනං සංයෝජනානං යන්නෙහි ඔරං යනු කාමලෝකයයි. මේ බැඳුම් පහ යමෙකුගේ හීන නොවී පවතී ද හේ භවාග්රයෙහි උපන්නේ ද බිලිය ගිලී මසු මෙන්, දිග නූලක් පයේ බැඳි කපුටෙකු මෙන් ඒ බැඳුම්වලින් අදිනු ලබන්නේ කාමධාතුවටම වැටෙන නිසා පංච බන්ධනවලට ඔරම්භාගි යයි කියනු ලැබේ. යට භාග යයි යට කොටස යයි යන අර්ථය වේ. පරික්ඛයා යනු ඒ බන්ධනවල ක්ෂය වීමෙන් ඔපපාතික යනු ඉපදීමේ යෝනියයි. මෙයින් ඔහු ගැබක සයනය ප්රතික්ෂේප කරන ලදී. අනාවත්තිත ධම්මො තස්මා ලොකා යනු ප්රතිසන්ධි ග්රහණ වශයෙන් ඒ ලෝකයෙන් මෙහි නොපවතින ස්වභාවය, බුදුන් දැකීම, සඟුන් දැකීම, දහම් ඇසීම මොහුගේ පැමිණීම නොවලක්වන ලදී. අයං වුච්චති යනු මෙබඳු මේ පුද්ගලයා ප්රතිසන්ධි වශයෙන් නැවත කාම ලෝකයට නොඒමෙන් අනාගාමි නම් යයි කියනු ලැබේ.
අන්තරා පරිනිබ්බායි නිද්දේසයෙහි උප්පන්නං වා සමනන්තරා යනු ඉපදීමෙන් සමනන්තරව අප්පත්තං වා වෙමජ්ඣං ආයුප්පමාණං යනු ආයුෂ ප්රමාණයෙහි මැදට නොපැමිණ. අරියමග්ගං සංජනෙති යන අර්ථයයි. වා ශබ්දයේ විකල්ප වශයෙන් මැදට පැමිණියහුද යන අර්ථය දතයුතුයි. මෙසේ අන්තරා පරිනිබ්බායි තුන්දෙනා සිද්ධ වෙති. උපරිට්ඨමානං සංයොජනානං යනු ඉහළ උද්ධංභාගිය සංයෝජන පහ, කෙලෙස් අට හෝ. පහානාය යනු මේවායේ ප්රහානය පිණිස මාර්ගය උපදවයි. අයං වුච්චති යනු මෙබඳු රූප වූ මේ පුද්ගලයා ආයු මැදට පැමිණි අනතුරුවම පිරිනිවන්පාන බැවින් අන්තරා පරිනිබ්බායි යයි කියනු ලැබේ.