පච්චයානුලොමවණ්ණනා
මෙසේ අනුලෝම පට්ඨාන ආදියෙහි තික පට්ඨාන ආදි වශයෙන් සූවිසි සියළු ප්‍රත්‍ය සමෝධාන පට්ඨාන මහා ප්‍රකරණයෙහි යම් තිකාදියක් නිසා නිර්දේශිත මේ තික පට්ඨානය, දුක පට්ඨානය...........දුක දුක පට්ඨානං යයි කියන ලදි. ඒවා ආමර්ශනය නොකොට යම් ප්‍රත්‍යයන්ගේ වශයෙන් ඒ තිකාදිය බෙදන ලදි. ඒ පච්චයම මේ මාතෘකා තබන පච්චය විභංග සංඛ්‍යාත වාරයෙන් උද්දේශ වශයෙන් ද නිද්දේස වශයෙන් ද දක්වා දැන් යම් තිකාදියක් නිසා දක්වන ලද මේ තික පට්ඨානය, දුක පට්ඨානය.....දුක දුක පට්ඨානයයි කියන ලදි. ඒ තිකාදිය මේ පච්චයන්ගේ වශයෙන් විස්තර කොට දැක්වීමට එක එක තික දුක නිසා සත්මහා වාරයකින් දේශනා කරන ලදි. ඒවායේ නම් මෙසේය. පටිච්ච වාරය, සහජාත වාරය, පච්චය වාරය, නිස්සය වාරය, සංසට්ඨ වාරය, සම්පයුත්ත වාරය, පඤ්හා වාරය යනුවෙනි.
එහි කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො යයි පටිච්ච නම් වශයෙන් කියන ලද්දේ පටිච්ච වාරයයි. කුසලං ධම්මං සහජාතො කුසලො ධම්මො යයි සහජාත නම් වශයෙන් කියන ලද්දේ සහජාත වාරයයි. එය පෙර පටිච්ච වාරය සමග අර්ථ වශයෙන් වෙනසක් නැත. පටිච්ච නම අවබෝධ කරන්නන්ගේ වශයෙන් පළමුව කියන ලදි. සහජාත නම අවබෝධ කරන්නන්ගේ වශයෙන් දෙවනුව කියන ලදි. දෙකේම චේතනාවල රූප අරූප ධර්ම වශයෙන් පච්චය මෙන්ම පච්චයුප්පන්නද දතයුතුය. ඒවා ද සහජාතමය. පුරේජාත පච්ඡාජාත නො ලැබේ. කුසලං ධම්මං පච්චයා කුසලො ධම්මො යයි මෙසේ පච්චය නම් වශයෙන් කියන ලද්දේ පච්චය වාරයයි. එයද පෙර වාර දෙක මෙන් රූප අරූප ධර්ම වශයෙන්ම දතයුතුය. මෙහි පච්චය වනාහි පුරේජාත ද ලබයි. පෙර දෙකට වඩා වෙනස මෙය වේ. ඉන් අනතුරුව කුසලං ධම්මං නිස්සාය කුසලො ධම්මො යයි මෙසේ නිස්සය නම් වශයෙන් කියන ලද්දේ නිස්සය වාරයයි. එය පෙර පච්චය වාරය සමග අර්ථයෙන් වෙනසක් නැත. පච්චය නම් වශයෙන් අවබෝධ කරන්නන්ට පළමුව කියන ලදි. නිස්සය නම් වශයෙන් අවබෝධ කරන්නන්ට දෙවනුව කියන ලදි. ඉනික්බිතිව කුසලං ධම්මං සංසට්ඨො කුසලො ධම්මො යයි මෙසේ සංසට්ඨ නම් වශයෙන් කියන ලද්දේ සංසට්ඨ වාරයයි. කුසලං ධම්මං සම්පයුත්තො කුසලො ධම්මො යයි මෙසේ සම්පයුත්ත නම් වශයෙන් කියන ලද්දේ සම්පයුත්ත වාරයි. එය පෙර සංසට්ඨ වාරයෙන් අර්ථ වශයෙන් වෙනස් නැත. සංසට්ඨ නම් වශයෙන් අවබෝධ කරන්නන්ට පළමුව කියන ලදි. සම්පයුත්ත නම් වශයෙන් අවබෝධ කරන්නන්ට දෙවනුව කියන ලදි. චේතනා දෙකේම අරූප ධර්ම වශයෙන් ම පච්චය පච්චයුප්පන්න ද දතයුතුය. සත්වන වාරයෙහි වනාහි යම්සේ කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතු පච්චයෙන පච්චයො යනාදි නයින් ඒ ඒ ප්‍රශ්න උපුටා නැවත කුසලා හෙතු සම්පයුත්තකානං යනාදි නයින් ඒ සියළු ප්‍රශ්න ගැට නැතිව අවුල් නැතිකොට බෙදන ලදි. එහෙයින් ඒ වාරය ප්‍රශ්නය මැනවින් බෙදන ලද බැවින් පඤ්හවාර සංඛ්‍යාවට ගියේය. මෙහි පච්චය ද පච්චයුප්පන්න ද රූපාරූප වශයෙන්ම දතයුතුය.
එහි යම් ඒ පටිච්ච වාරය සියල්ලට පළමුව උද්දේස නිද්දේස වශයෙන් එය ද්විධ වේ. එහි පළමුව උද්දේස වාරය පුච්ඡා වාරයයි ද කියයි. පණ්ණත්ති වාරයයි ද ඊටම නමකි. ඒ කුසලාදිය කුසලාදිය නිසා, හේතුප්‍රත්‍ය ආදීන්ගේ වශයෙන් උදෙසන ලද බැවින් උද්දේස වාර වේ. කුසලාදිය නිසා හේතුප්‍රත්‍යාදි වශයෙන් කුසලාදියේ උපත විමසන ලද බැවින් පුච්ඡාවාර වේ. කුසලාදිය නිසා හේතුප්‍රත්‍යාදි වශයෙන් කුසලාදි උපත පනවන ලද බැවින් පණ්ණත්ති වාරයයි කියන ලදි.
එහි සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතු පච්චයා යනු පරිකල්පන පුච්ඡාය. එහි අර්ථය මෙසේය. යම් කුසල ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් උපදින්නේ නම් එය කුසල ධර්මය නිසා වන්නේද? නොහොත් කුසල ධර්මය නිසා යම් කුසල ධර්මයක් උපදින්නේද එය හේතුප්‍රත්‍යයෙන් වන්නේදැයි මෙය මෙහි අර්ථයයි. එහි පටි යනු සමාන අර්ථයෙහි පවතී. සදිස පුග්ගලයා පටිපුග්ගලයාය. සදිස (සමාන) භාග පටිභාග යයි කියනු ලැබේ. ඉච්ඡා මෙය ගමන උද්‍යොග කරන වචනයකි. දෙක එකතුකොට පටිච්ච එකට ඉපදීම් සංඛ්‍යාත සමාන භාවයට පැමිණ එක් උත්පත්ති භාවයට පැමිණේ යයි කියන ලද්දේ වේ. කුසලො ධම්මො යයි මෙසේ එකට ඉපදීම් වශයෙන් කුසල ධර්ම නිසා කුසල ධර්ම උපදින්නේ යයි අසයි. එසේ නැතහොත් පටිච්චා යයි පච්චයකොට ඒ පච්චය කිරීම පුරේජාත ද සහජාතද පච්චය ලබයි. මෙහි සහජාත අදහස් කරයි. සියා කුසලං ධම්මං පටිච්ච අකුසලො ආදියෙහි ද මෙම නයමයි. එහි සහජාත වශයෙන් කුසල ධර්මය නිසා කිසි අකුසලයක් නැත. මේ පුච්ඡා වාරයෙහි වනාහි යමක් විසඳන්නේ අර්ථ වශයෙන් ලබයි. යමක් නොලැබේද, ඒ සියල්ල ප්‍රශ්න වශයෙන් උපුටන ලදි. අන්‍යයා වශයෙන් වනාහි විසඳීමෙහි යමක් නොලැබේද, එය හැර යමක් ලැබේද එයම විසඳන ලදි.
මෙසේ මෙහි ඇසීම්වල තේරුමද ඇසීමේ ස්වභාවය ද දැන ගණන වශයෙන් පුච්ඡා පරිච්ඡේදය දතයුතුය. මෙහි වනාහි ‘කුසලං ධම්මං පටිච්ච’ යයි කුසල පදය මුල්කොට කුසල අකුසල අබ්‍යාකත තුන පුච්ඡා වේ. නැවත එයම මුල්කොට කුසල අබ්‍යාකතා වශයෙන් දුක ප්‍රභේද බැවින් තුන, නැවත එයම මුල්කොට තික අන්තකොට ඇති එකකි. මෙසේ කුසලං ධම්මං පටිච්චා කුසලය මුල්වූ ප්‍රශ්න හත. එසේම අකුසලය මුල්වූ. එසේම අබ්‍යාකතා මුල්වූ. එසේම කුසල අබ්‍යාකතා මුල්වූ. එසේම අකුසල අබ්‍යාකතා මුල්වූ. කුසල අකුසල ආදික, කුසල අකුසල අබ්‍යාකතාදික, සියල්ල සතක් වූ සත්තකයන්ගේ වශයෙන් කුසලතික නිසා හේතු පච්චයෙහි එකුන් පනස් ප්‍රශ්න ඇසීම්.