24. අවිගත පච්චය නිද්දේසය
අවිගත පච්චය නිද්දේසයෙහි චත්තාරො ඛන්‍ධා යනාදියේ සියළු ආකාරයෙන් අත්‍ථි පච්චය නිද්දේසයෙහි කියන ලද නයින්ම අර්ථය දතයුතුය. මේ පච්චයේ අත්‍ථි පච්චය සමග අක්‍ෂරවලින් පමණක් නානත්වය වේ. අර්ථයෙහි නොවේ.
අවිගත පච්චය නිද්දේසය නිමි.
පච්චයනිද්දෙසපකිණ්ණකවිනිච්ඡයකථා
දැන් මෙසේ උද්දේස නිද්දේස වශයෙන් දක්වන ලද මේ සූවිසි ප්‍රත්‍යවල ඤාණ වාරයේ විසදභාවය සඳහා :- අනේක ධර්මවල ඒක පච්චයභාවයෙන්, එක් ධර්මයක අනේක පච්චයභාවයෙන්, එක් පච්චයක අනේක පච්චයභාවයෙන්, පච්චය සභාගයෙන්, පච්චය විසභාගයෙන්, යුගළකයෙන්, ජනකා ජනකයෙන්, සබ්බට්ඨානික සබ්බට්ඨානිකයෙන්, රූපය රූපයට යනාදි විකල්පයෙන්, භව භේදයෙන් යයි මේ පද දහය වශයෙන් ප්‍රකීර්ණක විනිශ්චය දතයුතුය. එහි ‘අනේක ධම්මානං එක පච්චයභාවතො’ යයි මේවා අතරෙන් කම්ම පච්චය හැර අවසේස පච්චය විසිතුනේ අනේක ධර්ම එක පච්චයෙන් වේ. කම්ම පච්චය වනාහි එක් චේතනා ධර්මයම යයි මෙසේ එහි අනේක ධර්මවල එක් පච්චය භාව වශයෙන් විනිශ්චය දතයුතුය.
‘එක ධම්මස්ස අනෙක පච්චයභාවතො’ හේතු පච්චයෙහි අමෝහය එක් ධර්මයකි. එය පුරෙජාත, කම්ම, ආහාර, ඣාන පච්චය නොවේ. සෙසු පච්චය විස්ස පච්චය වේ. අලෝභ අදෝස, ඉන්‍ද්‍රිය මග්ග පච්චය නොවේ. සෙසු පච්චය අටළොස පච්චය වේ. ලෝභ, මෝහ, විපාක පච්චය නොවේ. සෙසු පච්චය සතළොස් පච්චය වේ. දෝසය අධිපති පච්චය නොවේ. සෙසු පච්චය සොළොස් පච්චය වේ. ආරම්මණ පච්චයෙහි රූපායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවට ආරම්මණ පුරේජාත, අත්‍ථි, අවිගත වශයෙන් සතරාකාර පච්චය වේ. එසේම මනෝ ධාතුවට අහේතුක මනෝ විඤ්ඤාණ ධාතුවට ද, සහේතුකයට වනාහි ආරම්මණ අධිපති ආරම්මණ උපනිස්සය වශයෙන් ද පච්චය වේ. මෙම නයින් සියළු ආරම්මණ ධර්මයන්ට අනේක පච්චයභාවය දතයුතුය.
අධිපති පච්චයෙහි ආරම්මණ අධිපති ආරම්මණ පච්චයෙහි කියන ලද නයින්ම අනේක පච්චයභාවය දතයුතුය. සහජාත අධිපති කෙරෙහි වීමංස අමෝහ හේතු මෙන් විසි ආකාර පච්චය වේ. ඡන්‍දය, හේතු පුරේජාත, කම්ම, ආහාර, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග පච්චය නොවේ. සෙසු සතළොස් පච්චය වශයෙන් පච්චය වේ. සිත හේතු, පුරේජාත, කම්ම, ඣාන, මග්ග පච්චය නොවේ. සෙසු එකුන් විසි පච්චය වශයෙන් පච්චය වේ. විරිය හේතු, පුරේජාත, කම්ම, ආහාර, ඣාන පච්චය නොවේ. සෙසු එකුන් විසි වශයෙන් පච්චය වේ.
අනන්තර පච්චයෙහි ‘චක්ඛු විඤ්ඤාණ ධාතු’ යනාදි නයින් කියන ලද සතර ස්කන්ධවල වේදනා ස්කන්ධය, හේතු, පුරේජාත, කම්ම, ආහාර, මග්ග පච්චය නොවේ. සෙසු එකුන් වීසති වශයෙන් පච්චය වේ. සඤ්ඤා ඛන්‍ධය, ඉන්‍ද්‍රිය ඣාන පච්චය නොවේ. සෙසු සතළොස වශයෙන් පච්චය වේ. සංඛාර ඛන්‍ධයෙහි හේතු, හේතු පච්චයෙහි කියන ලද නයින්. ඡන්‍ද විරිය අධිපති පච්චයෙහි කියන ලද පච්චය වේ. ඵස්ස, හේතු පුරේජාත කම්ම ඉන්‍ද්‍රිය ඣාන මග්ග පච්චය නොවේ. සෙසු අටළොස වශයෙන් පච්චය වේ. චේතනා හේතු පුරේජාත ඉන්‍ද්‍රිය ඣාන මග්ග පච්චය නොවේ. සෙසු එකුන් විස්ස වශයෙන් පච්චය වේ. විතක්කය - හේතු පුරේජාත කම්ම ආහාර ඉන්‍ද්‍රිය පච්චය නොවේ. සෙසු එකුන් විස්ස වශයෙන් පච්චය වේ. විචාරය, මග්ග පච්චය ද නොවේ. සෙසු අටළොස වශයෙන් පච්චය වේ. පීති ඒවායේ වශයෙන්ම පච්චය වේ. චිත්තෙකග්ගතා - හේතු පුරේජාත කම්ම ආහාර පච්චය නොවේ. සෙසු විස්ස වශයෙන් පච්චය වේ. සද්ධා - හේතු පුරේජාත කම්ම ආහාර ඣාන පච්චයෝ නොවෙති. සෙසු අටළොස වශයෙන් පච්චය වේ. සතිය ඒවා සමග මග්ග පච්චය ද යුක්ත එකුන් විසි අයුරින් පච්චය වේ. ජීවිතේන්‍ද්‍රිය සද්ධාවෙහි කියන ලද අටළොස වශයෙන් පච්චය වේ. හිරි ඔත්තප්ප (ලජ්ජා භය) එයින් ඉන්‍ද්‍රිය පච්චය බැහැරකොට සෙසු සතළොස වශයෙන් පච්චය වේ. කාය පස්සාදි යුගලයද එසේය. යෙවාපන කයෙහි (තවත් අනිත් ධර්මවල) අධිමොක්ඛ මනසිකාර තත්‍රමජ්ඣත්තතා කරුණා මුදිතා ද විරති වනාහි ඒවා සමග මග්ග පච්චයෙන්දැයි අටළොස් ආහාර පච්චය වේ. මිච්ඡාදිට්ඨි - එයින් විපාක පච්චය හැර සතළොස් ආකාරයකින්. මිච්ඡා වාචා කම්මන්ත ආජීව - ඒවායින් ද කම්ම ආහාර පච්චයෙන්දැයි එකුන්විසි ආකාරයකින්. අහිරික, අනොත්තප්ප, මාන, ථීන, මිද්ධ, උද්ධච්ච යන මේවාට හේතු පුරේජාත කම්ම විපාක ආහාර ඉන්‍ද්‍රිය ඣාන මග්ග පච්චය නොවේ. සෙසු සොළොස් පච්චය වශයෙන් පච්චය වේ. විචිකිච්ඡා, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච යන මේවාට එයින් අධිපති පච්චය හැර පසළොස් ආකාරයෙන්. විඤ්ඤාණ ස්කන්ධයට අධිපති පච්චයෙහි කියන ලද නයින්ම අනේක පච්චයභාවය දතයුතුය. සමනන්තර පච්චයෙහි ද මෙම නයම වේ.