17. ඣාන පච්චය නිද්දේසය
ඣාන පච්චය නිද්දේසයෙහි ඣානංගානි දෙපස් විඤ්ඤාණය හැර සෙසු සිත්වල උපන් විතක්ක විචාර පීති සෝමනස්ස දෝමනස්ස උපෙක්ඛා චිත්තෙකග්ගතා යන අංග හත. විඤ්ඤාණ කාය පහේ ඉදිරියේ වැටෙන බව ඒවා කෙරෙහි විද්‍යමාන වුවද උපේක්ඛා සුඛ දුක්ඛ ධ්‍යාන වැඩීම් ආකාරයේ අභාවයෙන් ඣාන අංග නො උපුටන ලදමය. තං සමුට්ඨානානං මෙහි ද කටත්තා රූප සංග්‍රහ කරන ලදැයි දතයුතුය. ප්‍රශ්න වාරයෙහි මෙය කියන ලදි. ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි විපාක අබ්‍යාකත ඣාන අංග සම්ප්‍රයුක්ත ස්කන්ධවලට කටත්තා රූපවලට ඣාන පච්චයෙන් පච්චය වේ. මේ ඣාන පච්චය වනාහි ඣානාංග සත වශයෙන් පැවතියේද ජාති භේදයෙන් කුසල අකුසල විපාක කිරිය වශයෙන් සතරාකාරයට බෙදේ. නැවත භූමි වශයෙන් සතර එක සතර තුන යයි ආකාර වශයෙන් දොළොස් ආකාරයට බෙදේ යයි මෙසේ මෙහි නා නා ප්‍රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.
මෙසේ බෙදුණු මෙහි චතු භූමියද කුසල ඣාන අංගය පංච වෝකාරයෙහි සම්ප්‍රයුත්ත ධර්මවලට ද චිත්ත සමුට්ඨාන රූපයට ද රූපාවචරය හැර අවසේස ආරුප්පයෙහි සම්ප්‍රයුත්ත ධර්මවලට ද ඣාන පච්චයෙන් පච්චය වේ. අකුසලයෙහි ද මෙම නයම වේ. කාමාවචර රූපාවචර විපාකයේ පවතින සම්ප්‍රයුත්ත ධර්මවලටද චිත්ත සමුට්ඨාන රූපයටද ප්‍රතිසන්ධියෙහි සම්ප්‍රයුත්ත ධර්මයන්ටද කටත්තා රූපයටද, ආරුප්පයෙහි විපාක සම්ප්‍රයුත්ත ධර්මයන්ටද ආරුප්පයෙහි ලෝකෝත්තර යම් විපාකයක් උපදීද එයද පංචවෝකාරයෙහි වනාහි ඒ චිත්ත සමුට්ඨාන රූපයටද ඣාන පච්චයෙන් පච්චය වේ. තුන් බිම ද කිරිය දැහැන් අංගයද පංචවෝකාරයෙහි සම්ප්‍රයුත්ත දහම්වලටද චිත්ත සමුට්ඨාන රූපයටද මෙහි ආරුප්පයෙහි යමක් උපදීද එය සම්ප්‍රයුත්ත ධර්මවලටද ඣාන පච්චයෙන් පච්චය වේයයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන්ද විනිශ්චය දතයුතුය.
ඣාන පච්චය නිද්දේසය නිමි.
18. මග්ග පච්චය නිද්දේසය
මග්ග පච්චය නිද්දේසයෙහි මග්ගංගානි අහේතුක චිත්තුප්පාද (සිත්) හැර සෙසු සිත්වල උපන් ප්‍රඥා විතර්ක සම්මා වාචා කම්මන්ත ආජීව විරිය සති සමාධි මිච්ඡා දිට්ඨි මිච්ඡා වාචා කම්මන්ත ආජීව යන මේ අංග දොළොසය. මාර්ගයේ වනාහි හේතු පශ්‍යමක බැවින් අහේතුක සිත්වල මාර්ග අංග නො උපුටන ලදි. තං සමුට්ඨානානං මෙහි ද කටත්තා රූපය සංගෘහීතය. ප්‍රශ්න වාරයෙහි එය කියන ලදි. ‘ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි විපාක අබ්‍යාකත මාර්ගාංග සම්ප්‍රයුත්ත ස්කන්ධවලට කටත්තා රූපවලට මග්ග පච්චයෙන් පච්චය වේ’ යයි මෙය මෙහි පෙළ වර්ණනාවය.
මේ මග්ග පච්චය දොළොස් මාර්ගාංග වශයෙන් සිටියේ ද ජාති භේදයෙන් කුසලාදි වශයෙන් චතුර්විධය. කුසලාදියේ ද කාමාවචරාදි භූමි භේදයෙන් දොළොස් අයුරුය. මෙසේ මෙහි නා නා ප්‍රකාර භේද වශයෙන් විනිශ්චය දැනගත යුතුය. මෙසේ බෙදුණු මෙහි වනාහි සිව් බිමද කුසල මග්ග අංගය පංචවෝකාරයෙහි සම්පයුත්ත ධර්මයන්ට ද චිත්ත සමුට්ඨාන රූපයට ද රූපාවචරය හැර සෙසු ආරුප්පයෙහි සම්පයුත්ත ධර්මයන්ට ද මග්ග පච්චයෙන් පච්චය වේ යයි සියල්ල ඣාන පච්චයේ මෙන් විස්තර විය යුතුයයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන්ද විනිශ්චය දතයුතුය.
මග්ග පච්චය නිද්දේසය නිමි.
19. සම්පයුත්ත පච්චය නිද්දේසය
සම්පයුත්ත පච්චය නිද්දේසයෙහි පෙළ නො ගැඹුරු අරුත් වේ. මේ සම්පයුත්ත පච්චය නම් සංක්‍ෂේපයෙන් සියළුම අරූපී ස්කන්ධ වේ. ප්‍රභේද වශයෙන් මෙය ජාති විසින් කුසලාදිය භූමි විසින් ද කාමාවචරාදිය වශයෙන් විවිධව බෙදේ යයි මෙසේ මෙහි නා නා ප්‍රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය. මෙසේ බෙදුණු මෙහි සිව් බිමෙහි ද කුසල ස්කන්ධවල එක් ස්කන්ධයකි ස්කන්ධ තුනේ. තුන එකට දෙක දෙකට යයි මෙසේ සියළුම ඔවුනොවුන් සම්පයුත්ත පච්චයෙන් පච්චය වේ. අකුසල විපාක කිරිය ස්කන්ධවලද මෙම නයම වේයයි මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන්ද විනිශ්චය දතයුතුය.
සම්පයුත්ත පච්චය නිද්දේසය නිමි.
20. විප්පයුත්ත පච්චය නිද්දේසය
විප්පයුත්ත පච්චය නිද්දේසයෙහි රූපිනො ධම්මා අරූපිනං මෙය හෘදය වස්තුවද චක්ඛු ඉන්‍ද්‍රියාදී වශයෙන් දතයුතුය. රූප ධර්මවල මේ කොටස් සයම අරූප ස්කන්ධවලට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. රූපායතනාදිය වනාහි ආරම්මණ ධම්ම කිසිවක් විප්පයුත්ත ධම්ම වේ. විප්පයුත්ත පච්චය නොවේ. කුමන කරුණකින්ද? සම්පයෝග සංකාය අභාවයෙන් අරූපී ස්කන්ධ චක්ඛු ආදී වස්තූන්ගේ අභ්‍යන්තරයෙන් නික්මෙන්නා මෙන් උපත වේ. එහි සැක වේ. මේවා මේවා සමග සම්පයුත්තද නැතහොත් විප්පයුත්ත වේද ආරම්මණ ධම්ම වනාහි වස්තු නිශ්‍රයෙන් උපදිමින් ආරම්මණය පමණක් වේ. ඒවාවල සම්පයෝග සංකා නැත. මෙසේ සම්පයෝග සංකාය අභාවයෙන් ඔවුහු විප්පයුත්ත පච්චය නොවෙති. හෘදය වස්තු ආදියෙහි මේ විප්පයුත්ත පච්චය වශයෙන් දතයුතුය. මෙය ප්‍රශ්න වාරයෙහි කියන ලදි. ‘වස්තු කුසල ස්කන්ධයන්ගේ විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. වස්තු අකුසල ස්කන්ධවලට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණයට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. සෝත, ඝාන, ජිව්හා, කායායතනය කාය විඤ්ඤාණයට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ. වස්තු විපාක අබ්‍යාකතවලට කිරිය අබ්‍යාකත ස්කන්ධවලට විප්පයුත්ත පච්චයෙන් පච්චය වේ.’