77. රූපං කම්මන්ති කථා
දැන් රූපය කර්මය යයි කථා වේ. එහි යමෙකුගේ කාය වචී විඤ්ඤත්ති සංඛ්යාත රූපයම කාය කම්ම වචී කම්ම නම් වේ. එයද කුසල හටගැනීම කුසල ද අකුසල හටගැනීම අකුසලද යයි ලබ්ධි වේ. යම්සේ මහිංසාසක, සම්මිතියන්ගේ මෙනි. ඔවුන් සඳහා කුසලෙන චිත්තෙන සමුට්ඨිතං යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහු ඉදින් ඒ කුසලය. මේ අරමුණු සහිත භේදය කුසලයේ ලැබේ. එය එහිද ඇද්දැයි චෝදනා කිරිමට සාරම්මණං යනාදිය අරඹන ලදී. එහි පත්ථනා පණිධි යයි චේතනාවටම සමාන වචනයකි. කුසල චේතනාම කල්පනා කිරීම පත්ථනා යයි ද කල්පනා කරමින් සිටි නිසා පණිධි යයි ද කියනු ලැබේ. පර සමයෙන් වනාහි කුසල් සිතින් හටගත් වෙදනා සඤ්ඤා චේතනා සද්ධා යනාදියෙහි වේදනාදියම එහි පත්ථනා පණිධියයි ලබයි. චේතනාවෙන් නොවේ. කුමක් හෙයින්ද? චේතනා දෙකක් එකවිට නොමැති නිසාය. කනට වැටුණු බව වනාහි පෙළ අනුවදැයි දතයුතුය. රූපායතනං ආදිය පෙර වාරයෙහි සබ්බං තං කුසලං යන සංක්ෂේපයේ ප්රභේද දැක්වීම සඳහා කියන ලදී. සෙස්ස සැසඳීමෙන් වචී කම්මන්ති කථා දතයුතුය. අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං යනාදි විධාන ද පෙළ ඇසුරෙන් දතයුතුය. අසූචි යයි මෙහි ශුක්ර අදහස් කෙරේ. සූත්ර සාධනය පැහැදිලිය.
78. ජීවිතින්ද්රිය කථා
දැන් ජීවිතේන්ද්රිය කථා නම් වේ. එහි යමෙකුගේ ජීවිතේන්ද්රිය නම් සිතෙන් වෙන් වූ අරූප ධර්මයකි. එහෙයින් රූප ජීවිතේන්ද්රියක් නැතැයි ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙන්ම සම්මිතියන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. නත්ථි රූපීනං ධම්මානං ආයු යන ප්රශ්නයෙහි උපාදින්න රූපයගේ ද තෘණ කාෂ්ටාදියේ ද සන්තාන වශයෙන් පැවතීමම ආයු, ඨිතිය, යැපීම, ක්රියා පැවැත්වීම, පැවැත්ම, පාලනය කැමති වේ. එහෙයින් ප්රතික්ෂේප කරයි. අත්ථි යන ප්රශ්නයෙහි මේ කාරණයෙන් පිළිගනී. අත්ථි අරූප ජීවිතින්ද්රියං යන ප්රශ්නයෙහි සත්ත්ව සන්තානයෙහි රූපී හෝ අරූපී හෝ සියල්ල සිතෙන් වෙන්ව අරූප ජීවිතේන්ද්රියම කැමති වේ. එහෙයින් පිළිගනී.
නිරෝධ සමාපත්ති ප්රශ්නයෙහි ද සිතෙන් වෙන්වූ අරූප ජීවිතයම සඳහා ප්රතික්ෂේප ද කරයි. පිළිගනියි ද වේ. සකවාදියා එය පිළිනොගන්නේ යමක් අරූප පැවැත්මක් නැති කරහි රූප පැවැත්මක් ඇතැයි චෝදනා කිරීමට හඤ්චි යනාදිය කීය. සංස්කාර ස්කන්ධ ප්රශ්නයෙහි ඵස්ස ආදි සංස්කාර ස්කන්ධයන් සඳහා ප්රතික්ෂේප කරයි. කාය කර්ම ආදි සංස්කාර ස්කන්ධයන් සඳහා පිළිගනී. කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්ති සම්මා වාචා සම්මා කම්මන්තො ජීවිතින්ද්රියං යන මේ ආදි ධර්ම ද සංස්කාර ස්කන්ධයෙහි ඇතුළත් වේය යනු ඔහුගේ ලබ්ධියයි. සකවාදියා වනාහි එය නො පිළිගන්නේ ඉදින් නිරුද්ධ වූයේද අරූප පවතින කල්හි සංස්කාර ස්කන්ධ ඇත්ද සතර ස්කන්ධයන්ගේ ඇති බව වේයයි චෝදනා කිරීමට අත්ථි වෙදනාක්ඛන්ධො යනාදිය කීය. අනෙකා සමාපත්ති ඇතුළත සඳහා ප්රතික්ෂේප කරයි. සමවදින්නාට ද නැගී සිටින්නාට ද පෙර අපර භාගයක් සඳහා පිළිගනී.
අසංඥ සත්ත්ව වාරයෙහි ද මෙම නයයි. අසංඥ සත්ත්වයන්ගේ ප්රතිසන්ධි කාලයෙහි සිත ඉපදී නිරුද්ධ වේ යනු ඔහුගේ ලබ්ධියයි. එය සමග සිතෙන් වෙන් වූ අරූප ජීවිතේන්ද්රිය ඉපදී දිවිතෙක් පවතී. එහෙයින් ඔවුන්ට ජීවිතේන්ද්රියක් නැද්දැයි විචාරණ ලද්දේ ප්රතික්ෂේප කරයි. ඇත්දැයි විචාරණ ලද්දේ පිළිගනී. වේදනා ස්කන්ධ ආදිය ඒවායේ පැවැත්ම වශයෙන් ප්රතික්ෂේප කරයි. චුති ප්රතිසන්ධි වශයෙන් පිළිගනී. සකවාදියා වනාහි එය කැමති නො වන්නේ ඉදින් එහි එක් සැණයෙහි වේදනාදිය ඇති පංච වෝකාර පැවතීමට පැමිණේ යයි චෝදනා කිරීමට පංච වොකාර භවො යයි කීය. අනෙකා සූත්ර විරෝධී බියෙන් ප්රතික්ෂේප කරයි.