70. අන්තරාභව කථා
දැන් අන්තරාභව කථා වේ. එහි යමෙකුගේ ‘අන්තරා පරිනිබ්බායි’ සූත්‍ර පදය නුනුවණින් ගෙන අන්තරා භවයක් ඇත. දිවැසක් නැතිව දිවැසක් ඇත්තා මෙන් ඍද්ධියක් නැතිව ඍද්ධියක් ඇත්තා මෙන් මාපිය සමාගමය ද සෘතු කාලය ද බලමින් සත් දිනක් හෝ අතිරේක සත්දිනක් හෝ සිටිනු ලැබේ යන ලබ්ධි වේ. යම්සේ පුබ්බසේලියෝ ද සම්මිතියෝ ද මෙනි. ඔවුන් සඳහා අත්‍ථි යන විචාරීම සකවාදියාටය. ලබ්ධියෙහි පිහිටා ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිතිව ඔහුට භාග්‍යවතුන් වහන්සේ තුන් භාවයක් දේශනා කරන ලදහ. ඒ දේශනාව අනුව චෝදනා කිරීමට කාම භවො යනාදිය කීය. එහි අදහස මෙසේය. ඉදින් ඔබේ අන්තරා භව නම් භවයක් ඇත්නම් එය කාමාදි භවවලින් අනිකක් විය යුතුය. පංචවෝකාර (ස්කන්‍ධ පහක් ඇති) භව මෙනි. එහෙයින් ඔබ අසමි. කුමක් ද ඔබේ මේ අන්තරා භවය? එය කාමභවයද? නැතහොත් රූප අරූප භවද? පරවාදියා ඒවා කැමති නොවන්නේ ප්‍රතික්‍ෂේප කරයි. කාමභවය ද ආදි අන්තරා භවයක් ඉදින් ඇත්නම් සීමා දෙකක් අතර වන්නේ යයි චෝදනා කිරීමට අරඹන ලදී. පරවාදියා වනාහි එසේ කැමති නොවන්නේ සියළු ප්‍රශ්න ප්‍රතික්‍ෂේප කරයි. සහධර්මයෙන් නොව ලබ්ධියෙනි. එනිසාම සකවාදියා නො වත රෙ යයි වළක්වයි.
පඤ්චමී සා යොනී යනාදිය ද යම්සේ පර සිදුණු යෝනි ආදියෙහි ද හෝ එකතු කිරීමට නොයයි. ඉක්බිති එයින් ඉන් ඉන් අතිරේකයෙන් විය යුතු යයි චෝදනා කිරීමට කියන ලදී. අන්තරාභවූපගං කම්මං යයි ඉදින් එය ද එක් භවයෙකි. කාම භවයේ උපදින කර්මාදිය ඇතැයි ශාස්තෲන් වහන්සේ විසින් දක්වන ලදී. මෙසේ එහි ඉපදීම කර්මයෙන් විය යුතුයයි චෝදනා පිණිස කියන ලදී. යම්හෙයකින් අන්‍ය සමයෙහි අන්තරාභවයට යන වෙන්වූ කර්මයක් නැත. යම් යම් භාවවල උපදින්නේ ඒ භවවලට අයත් කර්මයෙන් අන්තරා භවයෙහි උපදින්නේය යනු ඔවුන්ගේ ලබ්ධියකි. එනිසා න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරන ලදී. අත්‍ථි අන්තරා භවූපගා සත්තා යයි විචාරණ ලද්දේ ද ඔවුන් කාමභවයටම පැමිණේය යන ලබ්ධියෙන් ප්‍රතික්‍ෂේප කරයි. ජායන්ති යනාදිය අසන ලද්දේ ද එහි ඉපදීම ජරාවට යෑම මරණය මෙන්ම චුති ප්‍රතිසන්ධි කැමති නොවන්නේ ප්‍රතික්‍ෂේප කරයි. රූපාදි වශයෙන් විචාරණ ලද්දේ ද අන්තරා භව සත්ත්වයා නොපෙනේ. අනිත් සතුන්ගේ මෙන් රූප වේදනාදිය ඕලාරික නොවේයයි ඔහුගේ ලබ්ධියයි. එනිසා ප්‍රතික්‍ෂේප කරයි. මේ කාරණයෙන්ම පංචවෝකාර භව භවයෙහි ද ප්‍රතික්‍ෂේප දතයුතුය.
දැන් කාමභවො ගති යනාදි භව සංසන්දනය වේ. එහි අදහස මෙසේය. ඉදින් ඔබේ අන්තරා භවය කිසියම් ගති භාවයක වන්නේය. කාම භවාදියෙහි භවගති ආදි භේද ලැබේ. එසේ එහිද ලැබේද? යම්සේ එහි නොලැබේ නම් මෙහි ද නොලැබේ. සමාන භව භවයෙහි ඒවායේ විශේෂ විභාග ඇත. ඉතිරියෙහි (අන්තරා භවයෙහි) නැත. එහි විශේෂය කුමක්ද? පරවාදියා ලබ්ධි වශයෙන් ඒ ඒ දේවල් පිළිගන්නේ ද? ප්‍රතික්‍ෂේප කරන්නේ ද වේ.
සබ්බෙ සඤ්ඤෙව සත්තානං අත්‍ථි අනතරා භවො විචාරණ ලද්දේ යම්සේ නිරයට පැමිණි අසඤ්ඤ සත්තවයට පත් අරූපයට පත් සතුන්ගේ අන්තරා භවය කැමති නොවේ. එහෙයින් ප්‍රතික්‍ෂේප කරයි. ඒ කරුණින්ම ප්‍රතිලෝමයෙහි පිළිගනී. අනන්තරිකස්ස යනාදි යමෙකුගේ ඒ අන්තරාභවය කැමති නොවේ. ඒවා බෙදා දැක්වීමට කියන ලදී. සූත්‍ර සාධනය සමග ඒ සියල්ල පෙළ අනුසාරයෙන් දතයුතුය.
71. කාම ගුණ කථා
දැන් කාමගුණ කතා නම් වේ. එහි ස්ව සමයෙහි කාමධාතු යයි වස්තු කාමය ද ක්ලේශ කාමය හා කාමභවය ද කියනු ලැබේ. මේවායෙහි වස්තුකාමය ප්‍රිය වූ අර්ථයෙන් කාම නම් වේ. ස්වභාවයෙන් ආත්මයක් නැති ශුන්‍ය අර්ථයෙන් ධාතු යයි කාමධාතු වේ. ක්ලේශ කාම ප්‍රිය වූ අර්ථයෙන් මෙන්ම ගමන් කිරීම් අර්ථයෙන් ද කාම වේ. කාම භවය ප්‍රිය වූ අර්ථයෙන් ගමනාර්ථයෙන් වස්තු කාම පවත්නා දේශ අර්ථයෙන් යන තුන් ආකාරයකින් කාම වේ. කියන ලද අර්ථයෙන්ම ධාතු කාමධාතු වේ. පරසමයෙහි වනාහි ‘මහණෙනි, මේ කාම ගුණ පහකි.’ යන වචන මාත්‍රයෙන් පංචවිධ කාම ගුණ කාම ධාතු යයි ගන්නා ලදී. එහෙයින් යමෙකුගේ මේ ලබ්ධිය වේ. යම්සේ දැන් පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා කාමධාතු නානත්වය අවබෝධ කරවීමට පඤ්චෙ වා යයි විචාරීම සකවාදියාටය. ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව අනෙකාටය. නනු අත්‍ථි යනාදිය ක්ලේශ කාමය දැක්වීමට කියන ලදී. එහි තප්පටිසංයුත්තො කාම ගුණයෙන් යුක්ත කාම ගුණ අරමුණුය යන අර්ථය වේ. නො වත රෙ වත්තබ්බෙ පඤ්චෙ චා යන මේවායෙහි ඒ හා සම්බන්ධ කැමති වනවිට පස්කම් ගුණම කාමධාතු යයි නොකිව යුතුය. ඡන්‍දාදිය ප්‍රිය වූ අර්ථයෙන් කාම ද ධාතු ද කාමධාතු වේ. ගමනාර්ථයේ ද කාම සංඛ්‍යාත ධාතු ද කාමධාතු යන අර්ථය වේ.
මනුස්සානං චක්‍ඛු යනාදිය වස්තුකාම දැක්වීමට කියන ලදී. පරවාදීහු ආයතන සයම වස්තුකාම භවයෙන් ප්‍රතික්‍ෂේප නොකොට නැවත මනො යයි විචාරණ ලද්දේ මහග්ගත ලෝකෝත්තර සඳහා කාමධාතු භාවය පිළිනොගනී. යම්හෙයකින් ත්‍රෛභූමික සියළු මනස කාමධාතුමය. එහෙයින් ඔහු සකවාදියා සූත්‍රයෙන් නිග්‍රහ කරයි.