71. කාම ගුණ කථා
දැන් කාමගුණ කතා නම් වේ. එහි ස්ව සමයෙහි කාමධාතු යයි වස්තු කාමය ද ක්ලේශ කාමය හා කාමභවය ද කියනු ලැබේ. මේවායෙහි වස්තුකාමය ප්රිය වූ අර්ථයෙන් කාම නම් වේ. ස්වභාවයෙන් ආත්මයක් නැති ශුන්ය අර්ථයෙන් ධාතු යයි කාමධාතු වේ. ක්ලේශ කාම ප්රිය වූ අර්ථයෙන් මෙන්ම ගමන් කිරීම් අර්ථයෙන් ද කාම වේ. කාම භවය ප්රිය වූ අර්ථයෙන් ගමනාර්ථයෙන් වස්තු කාම පවත්නා දේශ අර්ථයෙන් යන තුන් ආකාරයකින් කාම වේ. කියන ලද අර්ථයෙන්ම ධාතු කාමධාතු වේ. පරසමයෙහි වනාහි ‘මහණෙනි, මේ කාම ගුණ පහකි.’ යන වචන මාත්රයෙන් පංචවිධ කාම ගුණ කාම ධාතු යයි ගන්නා ලදී. එහෙයින් යමෙකුගේ මේ ලබ්ධිය වේ. යම්සේ දැන් පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා කාමධාතු නානත්වය අවබෝධ කරවීමට පඤ්චෙ වා යයි විචාරීම සකවාදියාටය. ලබ්ධි වශයෙන් ප්රතිඥාව අනෙකාටය. නනු අත්ථි යනාදිය ක්ලේශ කාමය දැක්වීමට කියන ලදී. එහි තප්පටිසංයුත්තො කාම ගුණයෙන් යුක්ත කාම ගුණ අරමුණුය යන අර්ථය වේ. නො වත රෙ වත්තබ්බෙ පඤ්චෙ චා යන මේවායෙහි ඒ හා සම්බන්ධ කැමති වනවිට පස්කම් ගුණම කාමධාතු යයි නොකිව යුතුය. ඡන්දාදිය ප්රිය වූ අර්ථයෙන් කාම ද ධාතු ද කාමධාතු වේ. ගමනාර්ථයේ ද කාම සංඛ්යාත ධාතු ද කාමධාතු යන අර්ථය වේ.
මනුස්සානං චක්ඛු යනාදිය වස්තුකාම දැක්වීමට කියන ලදී. පරවාදීහු ආයතන සයම වස්තුකාම භවයෙන් ප්රතික්ෂේප නොකොට නැවත මනො යයි විචාරණ ලද්දේ මහග්ගත ලෝකෝත්තර සඳහා කාමධාතු භාවය පිළිනොගනී. යම්හෙයකින් ත්රෛභූමික සියළු මනස කාමධාතුමය. එහෙයින් ඔහු සකවාදියා සූත්රයෙන් නිග්රහ කරයි.
කාමගුණා භවො යනාදි භවයේ කාමධාතු භාවය දැක්වීමට කියන ලදී. යම්සේ වනාහි කාමගුණය පමණක් භවයයි ව්යවහාර නොවේ. එහෙයින් පරවාදියා න හෙවං යයි ප්රතික්ෂේප කරයි. කාම ගුණූපගං කම්මං යනාදි සියල්ල කාම ගුණයට පමණය. කාමධාතු භවය දැක්වීම සඳහා නොවේ. කාමධාතු සංඛ්යාත කාමභවයට පැමිණීමේ කර්ම ඇත. කාමභවයට පැමිණෙන සත්ත්වයෝ වෙති. එහි උපදිති දිරති මැරෙති සැවති උපදිති වන්නේ කාම ගුණයෙහි නොවේ. මේ උපායෙන් සියළු අර්ථය දතයුතුය.
72. කාම කථා
දැන් කාමකථා නම් වේ. එහි යමෙකුගේ ‘මහණෙනි, මේ පංච කාමගුණයෝ’ යන වචනය පමණක් නිසා රූපාදි පංච ආයතන කාම යයි ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන්ගේ ක්ලේශ කාමයාගේම නිෂ්පරියායෙන් කාමභවය දැක්වීමට පඤ්චෙ වා යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ.
73. රූපධාතු කථා
දැන් රූපධාතු කථා නම් වේ. එහි රූප වූ ධර්ම රූපධාතු නම් යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා රූපිනො යයි විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහු සකවාදියා යම්සේ රූප ධාතු රූප නම් රූප භවය වේ. රූප මාත්රය පමණක් නොවේ. එහෙයින් මෙයින් චෝදනා කිරීමට රූප භවො යනාදිය කීය. ඒ සියල්ල කාමගුණ කථාවෙහි කියන ලද නයින්ම දත යුතුය. යාව කාම ධාතු යයි විචාරණ ලද්දේ භූමි පිරිසිඳීමෙන් විරෝධය දකින්නේ ප්රතික්ෂේප කරයි. නැවත දැඩිකොට විචාරණ ලද්දේ තමාගේ ලබ්ධි වශයෙන් පිළිගනී. මෙසේ ඇති කල්හි භව දෙකකින් යුක්ත බවට පැමිණේ. එයින් සකවාදියා ඔහුට කාම භවෙන යනාදිය කීය. අනෙකා එකකුගේ භව දෙකකින් යුක්තභාවයෙන් ප්රතික්ෂේප කරයි.
74. අරූප ධාතු කථා
අරූප කථාවේද මේ උපායෙන් අර්ථය දතයුතුය. අරූප ධර්මවල වනාහි වේදනා ස්කන්ධයට ගෙන වෙදනා භවො යයි මෙහි යනාදි නයින් දේශනා කරන ලදී. එහි ඔබගේ අරූපී ධර්ම සංඛ්යාවට ගියේ වේදනාවලින් එක්තරා එකක් වේ යයි මෙසේ අර්ථය දතයුතුය. සෙස්ස යට කියන ලද නයින්ම දැනගත යුතුය.
75. රූප ධාතුවේ ආයතන කථා
දැන් රූපධාතුවේ ආයතන කථා නම් වේ. එහි යමෙකුගේ ‘සියළු අඟපසඟ අභිනන්දිය මනෝමය රූපී වේ’ යන සූත්රය නිසා බ්රහ්මයින්ගේ ඝාන ආදි නිමිති ද ආයතනම වේ යයි කල්පනය කොට ඔවුන්ගේ ආත්මභාවය සළායතනිකයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ ද සම්මිතිකයන්ගේ ද වැඩි වේ. ඔවුන් සඳහා සළායතනිකො යයි විචාරීම සකවාදියාටය. ලබ්ධි වශයෙන් ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට එහි ආයතන නැත යනුවෙන් චෝදනා කිරීමට අත්ථි තත්ථ ඝානායතනං යනාදිය ආරම්භ කරන ලදී. එයින් පරවාදියා එහි අධ්යාත්මික ඝානාදි ආයතන තුනේ සටහන් නිමිති, ඒවාම ආයතනයයි ලබ්ධියෙන් පිළිගනී. බාහිර වූ ගන්ධාදි ආයතන වශයෙන් විචාරණ ලද්දේ ඝාන ප්රසාද ආදිය එහි කැමති නොවේ. එහෙයින් ඒ ගෝවරය ඉවත් කරන්නේ ප්රතික්ෂේප කරයි. ප්රතිලෝම ප්රශ්න සංසන්දන ප්රශ්නයෙහි දී මේ උපායෙන් අර්ථය දතයුතුය.