69. ගති කථා
දැන් ගතිකථා නම් වේ. එහි අසුරකාය සමග ගති හයකැයි යමෙකුන්ගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ ද උත්තරපථකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට සකවාදියා ‘සාරිපුත්රයෙනි, ගති වනාහි පහකි’ යයි ලෝමහංසන පරියායෙහි (ධර්මය විස්තර කරන පිළිවෙළ) පිරිසිඳ දැක්වූ ගතීන්ගේ වශයෙන් චෝදනා කිරීමට නනු පංචගතියො යනාදිය කීය. පරවාදියා සූත්ර විරෝධ බියෙන් පිළිගනී. එහෙයින් සකවාදියා ගති සය නොපිළිගන්නේ කුමක් හෙයින්ද? ‘චතූහපායෙහි ච විප්පමුත්තො’ (සිව් අපායෙන් මිදුණු) මෙහි අසුරකාය ද ගන්නා ලද්දේ නොවේද? නැත. වෙනම නැති හෙයිනි. අසුරකායෙහි කාකඤ්ජික අසුරයෝ ප්රේත ගතියෙහි සංග්රහ කරනු ලැබූහ. වෙපචිත්ති පිරිස දේව ගතියෙහි සංග්රහ කරනු ලැබූහ. අසුරකාය යයි එක් ගතියක් නම් වෙනම නැත.
දැන් එකම අර්ථය දැක්වීමට නනු කාලකඤ්ජිකා යයි ආරම්භ කරන ලදී. එහි සමාන වණ්ණා සමාන රූප සටහන. බීභච්ඡ විරූප, බලන්න බැරි. සමනාහාර - කෙල සොටු ලේ ආදි සමාන ආහාර. සමාන භොග - සමාන මිතුනු දම් හැසිරීම්. සමනායුකා සමාන ආයුෂ කාල ඇති. ආවාහ විවාහං කන්යාවන් පාවා ගැනීම සහ කන්යාවන් පාවා දීම. යහපත් පැත්තේ:- සමාන වණ්ණා සමාන රූප සටහණ, අභිරූප පැහැපත දර්ශනීය ප්රභා සම්පන්න වේ. සමාන භොග සමාන පස්කම් සුව. සමානාහාර සුභෝජනාදි ආහාර. සෙස්ස කියන ලද නය අනුව. නනු අත්ථි අසුරකායො? මෙය අසුරකායම්ම සාධකයකි. එහි වෙනම ගති වෙන්කිරීමක් වෙනම නැති නිසා ගති සාධක නැත.
70. අන්තරාභව කථා
දැන් අන්තරාභව කථා වේ. එහි යමෙකුගේ ‘අන්තරා පරිනිබ්බායි’ සූත්ර පදය නුනුවණින් ගෙන අන්තරා භවයක් ඇත. දිවැසක් නැතිව දිවැසක් ඇත්තා මෙන් ඍද්ධියක් නැතිව ඍද්ධියක් ඇත්තා මෙන් මාපිය සමාගමය ද සෘතු කාලය ද බලමින් සත් දිනක් හෝ අතිරේක සත්දිනක් හෝ සිටිනු ලැබේ යන ලබ්ධි වේ. යම්සේ පුබ්බසේලියෝ ද සම්මිතියෝ ද මෙනි. ඔවුන් සඳහා අත්ථි යන විචාරීම සකවාදියාටය. ලබ්ධියෙහි පිහිටා ප්රතිඥාව පරවාදියාටය. ඉක්බිතිව ඔහුට භාග්යවතුන් වහන්සේ තුන් භාවයක් දේශනා කරන ලදහ. ඒ දේශනාව අනුව චෝදනා කිරීමට කාම භවො යනාදිය කීය. එහි අදහස මෙසේය. ඉදින් ඔබේ අන්තරා භව නම් භවයක් ඇත්නම් එය කාමාදි භවවලින් අනිකක් විය යුතුය. පංචවෝකාර (ස්කන්ධ පහක් ඇති) භව මෙනි. එහෙයින් ඔබ අසමි. කුමක් ද ඔබේ මේ අන්තරා භවය? එය කාමභවයද? නැතහොත් රූප අරූප භවද? පරවාදියා ඒවා කැමති නොවන්නේ ප්රතික්ෂේප කරයි. කාමභවය ද ආදි අන්තරා භවයක් ඉදින් ඇත්නම් සීමා දෙකක් අතර වන්නේ යයි චෝදනා කිරීමට අරඹන ලදී. පරවාදියා වනාහි එසේ කැමති නොවන්නේ සියළු ප්රශ්න ප්රතික්ෂේප කරයි. සහධර්මයෙන් නොව ලබ්ධියෙනි. එනිසාම සකවාදියා නො වත රෙ යයි වළක්වයි.
පඤ්චමී සා යොනී යනාදිය ද යම්සේ පර සිදුණු යෝනි ආදියෙහි ද හෝ එකතු කිරීමට නොයයි. ඉක්බිති එයින් ඉන් ඉන් අතිරේකයෙන් විය යුතු යයි චෝදනා කිරීමට කියන ලදී. අන්තරාභවූපගං කම්මං යයි ඉදින් එය ද එක් භවයෙකි. කාම භවයේ උපදින කර්මාදිය ඇතැයි ශාස්තෲන් වහන්සේ විසින් දක්වන ලදී. මෙසේ එහි ඉපදීම කර්මයෙන් විය යුතුයයි චෝදනා පිණිස කියන ලදී. යම්හෙයකින් අන්ය සමයෙහි අන්තරාභවයට යන වෙන්වූ කර්මයක් නැත. යම් යම් භාවවල උපදින්නේ ඒ භවවලට අයත් කර්මයෙන් අන්තරා භවයෙහි උපදින්නේය යනු ඔවුන්ගේ ලබ්ධියකි. එනිසා න හෙවං යයි ප්රතික්ෂේප කරන ලදී. අත්ථි අන්තරා භවූපගා සත්තා යයි විචාරණ ලද්දේ ද ඔවුන් කාමභවයටම පැමිණේය යන ලබ්ධියෙන් ප්රතික්ෂේප කරයි. ජායන්ති යනාදිය අසන ලද්දේ ද එහි ඉපදීම ජරාවට යෑම මරණය මෙන්ම චුති ප්රතිසන්ධි කැමති නොවන්නේ ප්රතික්ෂේප කරයි. රූපාදි වශයෙන් විචාරණ ලද්දේ ද අන්තරා භව සත්ත්වයා නොපෙනේ. අනිත් සතුන්ගේ මෙන් රූප වේදනාදිය ඕලාරික නොවේයයි ඔහුගේ ලබ්ධියයි. එනිසා ප්රතික්ෂේප කරයි. මේ කාරණයෙන්ම පංචවෝකාර භව භවයෙහි ද ප්රතික්ෂේප දතයුතුය.