65. පඨවි කම්මවිපාක කථා
දැන් පඨවි කම්ම විපාක කථා නම් වේ. එහි යම්සේ ‘අත්‍ථි ඉස්සරිය සංවත්තනියං කම්මං ආධිපච්ච සංවත්තනියං කම්ම’ යයි මෙහි ඉසුරුමතුන්ගේ සම්පත්, අධිපතීන්ගේ අධිපති බව නමි. පෘථිවි ඓශ්චර්ය, ආධිපත්‍ය පමුණුවන කර්මය ඇතැයි කියන ලදී. එහෙයින් ඇතමෙකුගේ පඨවිය කර්ම විපාකයකැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයගේ මෙනි. ඔවුන් සඳහා පඨවී යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව ඉතිරි අයටය. සසුඛවෙදනීයා යනාදි කර්මවිපාක ස්වභාව දර්ශන වශයෙන් කියන ලදී. ඵස්සො හොති යනාදී නයින් නිර්දිෂ්ට විපාකවල ස්පර්ශය සැප වේදනාදි ප්‍රභේද වේ. එයද සංඥාදිය ද සැප වේදනාවලින් යුක්ත වූ වේදනාදිය සංඥාදියෙන් සියළු අරමුණු සහිත වේ. ඒවායේ පෙර හැසිරුණු ආවට්ටනාදි සංඛ්‍යාත ආවර්ජනා ද ඇත. චේතනා කර්ම ප්‍රත්‍ය වේ. යමක් එහි ඉෂ්ට විපාක වේ. ඔහුගේ ප්‍රාර්ථනා ප්‍රණිධාන වශයෙන් පවතින මූල තෘෂ්ණාවය. ඔබගේ මෙබඳු වූ පඨවියදැයි අසයි. පරවාදියා ප්‍රතික්‍ෂේප කරයි. ප්‍රතිලෝම විචාරීම් පැහැදිලිය.
කම්ම විපාකො පරෙසං සාධාරණො යන ප්‍රශ්නයෙහි ස්පර්ශාදිය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. කර්මයෙන් හටගත් රූපයද පෘථිවි ආදීන්ගේ ද සාධාරණභාවය නිසා පිළිගනී. අසාධාරණ මඤ්ඤෙසං යන සූත්‍රය පරසමයෙන් ගෙන දක්වන ලදී. සබ්බෙ සත්තා පඨවි පරිභුඤ්ජති යන ප්‍රශ්නයෙහි පෘථිවිය ආශ්‍රිත නිසා ප්‍රතික්‍ෂේප කරයි. නිශ්‍රිතය සඳහා පිළිගනී. පඨවිං පරිභුඤ්ජිත්‍වා පරිනිබ්බායති යන ප්‍රශ්නයෙහි ආරුප්පයෙහි පිරිනිවෙන්නවුන්ගේ වශයෙන් පිළිගනී. කම්ම විපාකං අඛෙපෙත්‍වා මෙය පරසමය වශයෙන් කියන ලදී. කර්ම විපාක ගෙවා දමාම පිරිනිවන් පාන්නේය යනු ඔවුන්ගේ ලබ්ධියයි. ස්ව සමයෙන් වනාහි කරන ලද කර්මයෙන් උපන් විපාක නොගෙවා පිරිනිවුමක් නැත. ඔවුන්ගේ ලබ්ධියෙන් පඨවි සාධාරණ විපාක බැවින් උපන් විපාකයක්ම වේ. ඒ විපාකබවෙන් සිට එය නොගෙවා පිරිනිවීම අයුතු යයි චෝදනා කිරීමට වටි. පරවාදියා ලබ්ධි වශයෙන් ප්‍රතික්‍ෂේප කරයි. චක්කවත්ති සත්තස්ස කම්ම විපාකං යන ප්‍රශ්නයෙහි අසාධාරණ ඵස්සාදිය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සාධාරණය සඳහා පිළිගනී. පඨවි සමුද්ද සුරිය චන්‍දිමා (පොළව, මුහුද, හිරු, සඳු) ආදිය සාධාරණ කර්ම විපාකයයි ඔවුන්ගේ ලබ්ධියයි.
ඉස්සරිය සංවත්තනියං මෙහි ඉස්සරිය නම් බොහෝ ධනය ඇති බවයි. ආධිපච්ච යනු සෙසු ජනයින් තමාගේ වසයෙහි තබා ඔවුන් විසින් ගරු කළයුතු ස්ථානයෙහි අධිපතිබව වේ. එහි කර්ම ප්‍රතිලාභ වශයෙන් එය පැමිණවීම නම් වේ. ඉපදවීම් වශයෙන් නොවේ. එහෙයින් විපාක අභාවයෙහි මෙය අසාධක වේ.
66. ජරාමරණ විපාක කථා
දැන් ජරාමරණ විපාක කථා වේ. එහි යමෙකුගේ ‘අත්‍ථි දුබ්බණ්ණ සංවත්තනියං කම්මං අප්පායුක සංවත්තනියං කම්මං’ යයි මෙහි දුබ්බණ්ණාතා නම් ජරාය. අප්පායුකතා නම් මරණයයි. එය පමුණුවන කර්මද වේ. එහෙයින් ජරාමරණ යනු විපාකයකැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ප්‍රතිලෝම ප්‍රශ්නයෙහි අනාරම්මණං යනු රූප ධර්මයන්ගේ අනාරම්මණ ම වේ. අරූපයන්ගේ වනාහි ජරා මරණ සම්ප්‍රයෝග ලක්‍ෂණ අභාවය අනාරම්මණ ම වේ.
අකුසලානං ධම්මානං ජරාමරණං අකුසලානං ධම්මානං විපාකො යන ප්‍රශ්නයෙහි ජරා මරණයෙන් නම් අනිෂ්ට විපාකයෙන් විය යුතුයයි ලබ්ධියෙන් පිළිගනී. එම කරුණින්ම කුසල ධර්මයන්ගේ ජරාමරණයේ කුසල විපාක බව ප්‍රතික්‍ෂේප කරයි. ඔහුගේ අකුසල විපාක බවම පිළිගනී.