27. දිබ්බසොත කථා
දැන් දිබ්බසොත කථා නම් වේ. එහි එකංයෙව සොතං යයි අසන ලද්දේ දෙකක් ඇති බැවින් ප්‍රතික්‍ෂේප කරයි. නැවත අසන ලද්දේ යම්හෙයකින් එයම ලෝකෝත්තර ධර්මයෙන් උපස්ථම්භ වූයේ දිවැස වේ යයි ලබ්ධි වශයෙන් පිළිගනී. සෙස්ස යට කියන ලද නයෙන්ම වේ.
28. යථාකම්මූපන ඤාණකථා
දැන් යථාකම්මූපග ඤාණකථා නම් වේ. එහි යමෙකුගේ ‘ඉති දිබ්බෙන චක්‍ඛුනා විසුද්ධෙන.......යථාකම්මූපනෙ සත්තෙ පජානාති’ මෙසේ පිරිසිදු දිවැසින්......කර්මානුරූපය පැමිණි සතුන් දනයි. සූත්‍රය වැරදියට ගෙන කර්මානුරූපව පැමිණි ඤාණයම දිවැස යයි ලබ්ධිය, ඔවුන් සඳහා ඇසීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. නැවත යථාකම්මූපගතඤ්ච මනසිකරොති යයි අසන ලද්දේ එක් සිතක අරමුණු දෙකක් නැති බැවින් ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ නා නා සිත් වශයෙන් පිළිගනී. නැවත ලේසයකට හෝ අවසර නොදී ද්වින්නං ඵස්සානං යයි අසන ලද්දේ ප්‍රතික්‍ෂේප කරයි. මෙසේ මේ කම්වූ පරිදි පදයෙන් එසේම ඉමෙ වත භොන්තො සත්තා යනාදි පදය සමග යෝජනාවල අර්ථය දතයුතුය.
ආයස්මා සාරිපුත්තො යථාකම්මූපගතං ඤාණං ජානාති යන මෙය සකවාදියා යම්හෙයකින් ස්ථවිරයන් වහන්සේ අපිස් බැවින් අභිඥාවන් භාවිත නොකරත් යයි ඇතමෙක් නොදනිති. ඒවා වනාහි නැතැයි සිතති. එහෙයින් ඒ දිවැස නොලැබූ ස්ථවිරයෝ යයි සිතමින් විචාරති. ඒ කාරණයෙන්ම අත්‍ථායස්මතො සාරිපුත්තෙස්ස දිබ්බචක්‍ඛු යයි අන්‍යයෙක් අසන ලද්දේ ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ යම්කිසි ශ්‍රාවකයකු විසින් පැමිණිය යුතු සියළු තැනම ස්ථවිරයන් විසින් නො පැමිණ ඇතැයි පිළිගනී. දැන් එය අවුල් කරන්නේ සකවාදියා නනු ආයස්මා සාරිපුත්තො යනාදිය කීය. මේ ගාථාව ස්ථවිරයන් වහන්සේ භාවිත කිරීමේ අදහසක් නැති හෙයින් කීහ. අභිඥානයේ අභාවයෙන් නොවේ. පරවාදියා වනාහි අභාවයෙන්ම යයි අර්ථය සලකයි. දිවැස ගැන නොවේ. එහෙයින් කියන ලදී. තෙනහි න වත්තබ්බං යථා කම්මූපගතඤාණං දිබ්බචක්‍ඛූති.
29. සංවර කථා
දැන් සංවර කථා නම් වේ. එහි යමෙකුගේ තව්තිසා දෙවියන් ගෙන ඉන් උපරි දෙවිවරු පස්පවෙහි නො හැසිරෙති. එහෙයින් සංවරය ඇතැයි ලබ්ධිය වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. වෛර හැසිරීම නොදක්නා නිසා ප්‍රතිඥාව අනෙකාටය. එයින් සංවරය නම් අසංවරයක් ඇති කල්හි හැසිරිය යුත්තෙහි හැසිරීමය. එහෙයින් අසංවරය විචාරිම සකවාදියාටය. දෙවියන් කෙරෙහි පාණාතිපාතාදියේ අභාවයෙන් ප්‍රතික්‍ෂේපය අනෙකාටය.
අත්‍ථි මනුස්සෙසු යනාදි සංවරය ඇති කල්හි අසංවරයේ අසංවරය ද ඇති කල්හි සංවරයේ ස්වභාවය දැක්වීමට කියන ලදී.
පාණාතිපාතා වෙරමණී යනාදි ප්‍රශ්නවල ප්‍රාණඝාතාදියේ නොහැසිරීම් වශයෙන් ප්‍රතිඥාව වේ. ප්‍රාණඝාතාදිය නැති බැවින් ප්‍රතික්‍ෂේපය දතයුතුය. ප්‍රතිලෝම ප්‍රශ්න ප්‍රකටය.
නත්‍ථි දෙවෙසු සංවරෙ යන ප්‍රශ්නයෙහි ප්‍රාණඝාතාදිය කොට නැවත එයින් සංවරභාවය සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. එයින් ඡල වශයෙන් යදි සංවරො නත්‍ථි සබ්බෙ දෙවා පාණාතිපාතො යයි විචාරීම පරවාදියාගේය. දෙවියන්ගේ වෛර හැසිරීමක් නැති බැවින් ප්‍රතික්‍ෂේපය සකවාදියාගේය. න හෙවං යයි වචන මාත්‍රය ගෙන ලබ්ධිය පිහිටුවීම පරවාදියාගේය. මෙසේ පිහිටුවන ලද ලබ්ධිය නොපිහිටවූවා වේ.
30. අසඤ්ඤ කථා
දැන් අසඤ්ඤ කථා නම් වේ. එහි යමෙකුගේ ‘සංඛාර පච්චයා විඤ්ඤාණං’ යන වචනය හැර විඤ්ඤාණයෙන් ප්‍රතිසන්ධියක් නම් නැත. ‘සඤ්ඤුප්පාදාච පන තෙ දෙවා කම්හා කායා වචන්ති’ යන වචනයෙන් අසංඥ සත්ත්වයින්ට ද චුති පටිසන්ධි ක්‍ෂණයෙහි සංඥාව ඇතැයි ලබ්ධිය වේ. දැන් යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සකවාදියා කිම ඔබේ ඒ ස්ථානය සඤ්ඤභාවය දැයි ආදියෙන් චෝදනා කිරීමට සඤ්ඤා භවො සඤ්ඤාගතී යනාදිය කීය. ඒ සියල්ල ඉන්පසුවද පෙළ ඇසුරෙන්ම දතයුතුය.
31. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන කථා
දැන් නෙවසඤ්ඤානාසඤ්ඤා කථා නම් වේ. එහි යමෙකුගේ ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනං’ වචනයෙන් නොකිව යුතුය. ඒ භවයෙහි සංඥාව ඇතැයි ලබ්ධිය වේ. අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙසු සියල්ල පෙළ නයින්ම දතයුතුය.
තුන්වැනි වර්ගය නිමියේය.
4. සතරවන වර්ගය
32. ගිහිස්ස අරහාති කථා
දැන් ගිහියාගේ රහත් යන කථා නම් වේ. එහි යමෙකුගේ යසකුල පුත් ආදි ගිහි ස්වරූපයෙන් සිටි අයගේ රහත්බවට පැමිණීම දැක ගිහියා රහත් වෙතියි ලබ්ධි වේ. යම්සේ උත්තරපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. එහි ගිහිස්ස යයි යමෙක් ගිහි සංයෝජනාවලින් සමන්විතවම රහත්වේය යන අර්ථය වේ. පරවාදියා අදහස නොසලකා ගිහි රූප මාත්‍රයම දකින්නේ පිළිගනී. මෙහි ගිහි නම් ගිහි සංයෝජනයෙන් වේ. ස්වරූප මාත්‍රයෙන් නොවේ. එයින් භාග්‍යවතුන් වහන්සේ කීහ.