189. ඤාණ කථා
දැන් ඤාණ කථා නම් වේ. එහි දම්සක් පැවතුමෙහි දොළොස් ආකාර ඤාණය සඳහා දොළොස් වස්තු ඤාණය ලෝකෝත්තරයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඒ දොළොස් වියෙකු දොළොස්මග නුවණින් විය යුතුයයි චෝදනා කිරිමට ද්වාදසා යනාදිය කීය. අනෙකා මාර්ගයේ ඒකත්වය සඳහා ප්රතික්ෂේප කරයි. එක් එක් සංඝයෙහි සච්ච ඤාණ කිච්ච ඤාණ කත ඤාණ වශයෙන් ඤාණ නානත්වය සඳහා පිළිගනී. ද්වාදස සොතාපත්ති මග්ග යනාදියෙහි ද මෙම නයයි. නනු වුත්තං භගවතා යන සූත්රය සමග පෙර අපර ඤාණ නානත්වය දක්වයි. ආර්ය මාර්ගයේ දොළොස් ඤාණ බව නොවේ. එහෙයින් සාධක නොවේ.
විසිවෙනි වර්ගය නිමයි.
සිව්වෙනි පණ්ණාසකය සමාප්තයි.
21. එක් විසිවැනි වර්ගය
190. සාසන කථා
දැන් සාසන කථා නම් වේ. එහි සංගීති තුන සඳහා සාසනය අළුත් කරන ලදැයි ද තථාගත සාසනය අළුත් කරන කිසිවෙක් ඇතැයි ද තථාගත සාසනය අළුත් කිරීමට ලැබේ යයි ද යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා කථා තුනේම විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. සතිපට්ඨාන යනාදි සාසනය නම් සතිපට්ඨානාදි ආර්ය ධර්ම ද කුසලාදී දේශනා ද වේ. එහි යමෙකුගේ භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සතිපට්ඨානාදිය හැර ඔහු අන්ය සතිපට්ඨානාදිය කිරීමෙන් අකුසලාදිය හෝ කුසලාදි බව කිරිමෙන් කසිනය නවීකත්ත නම් වන්නේය. කිම? එය මෙසේ කළේ කවුරුන්ද? මෙසේ කරන කිසිවෙක් ඇත්ද? මෙසේ කිරීමට ලැබේද? ප්රශ්න තුනටම චෝදනා පිණිස කියන ලදී. සෙසු සැමතැන පෙළ අනුව යෙදිය යුතුය.
191. අවිවිත්ත කථා
දැන් අවිවිත්ත කථා නම් වේ. එහි යම් පුද්ගලයෙකුගේ යම් ධර්මයක් වර්තමාන වේද, හේ එයින් යුක්ත වේ යනු ඒ සමයෙහි නිශ්චයයි. යම්හෙයකින් පෘථග්ජනයා විසින් ත්රෛභූමික ධර්ම අවබෝධ නොකරන ලදී. එහෙයින් හේ ඒකක්ෂණයෙහිම සියළු ත්රෛධාතු ධර්මවලින් යුක්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඔවුන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාගේය. ප්රතිඥාව අනෙකාගේය. ඵස්සෙහි යනාදි සියළු ස්පර්ශාදීන්ගේ ඒකක්ෂණයේ පැවැත්මේ දෝස දැක්වීම සඳහා කියන ලදී. සෙසු සියළු තැන ප්රකටය.
192. සඤ්ඤොජන කථා
දැන් සංයෝජන කථා නම් වේ. එහි යම්හෙයකින් රහතන් වහන්සේ හැම බුද්ධ විෂයම නොදනිති. එහෙයින් උන්වහන්සේට එහි අවිජ්ජා විචිකිච්ඡා අප්රහීන විය යුතුය යන සංඥාවෙන් කිසි සංයෝජනයක් ප්රහානය නොකොට රහත්බවට පැමිණියේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. අත්ථි කිඤ්චි සක්කාය දිට්ඨි යනාදිය රහතුන්ගේ සියළු සංයෝජන ප්රහානය දැක්වීම සඳහා කියන ලදී. සච්චං බුද්ධ විසයං යන ප්රශ්න දෙකේ රහතුන් සර්වඥ ඤාණ භාවයෙන් ප්රතිසේධනය කරන ලදී. අවිජ්ජා විචිකිච්ඡාවල අප්රහානයෙන් නොවේ. අනෙක් ඒවායේ අප්රහීනතා සඳහා තෙනහී යයි ලබ්ධිය පිහිටුවයි. එය අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටියේම වේ.
193. ඉද්ධි කථා
දැන් ඉද්ධි කථා නම් වේ. ඉද්ධි නම් මෙය කිසිතැන සමෘද්ධ වේ. කිසිතැන සමෘද්ධ නොවේ. අනිත්යාදියේ නිත්යාදි කරණය ඒකාන්තයෙන් සමෘද්ධ නොවේ. සභාග සන්තතිය විසභාග සන්තති කිරීම හෝ සභාග සන්තති වශයෙන්ම චිර කලක් පැවැත්වීම හෝ යමෙකුගේ ප්රයෝජනය සඳහා කරනු ලැබේ, ඔවුන්ගේ ප්රත්යාදි කරුණු නිසා කිසිවක් සමෘද්ධ වේ. භික්ෂූන්ගේ ප්රයෝජනය සඳහා පැන් ගිතෙල් කිරි ආදිය කිරීම මෙන් මහාධාතු නිදහසේ පහන් ආදියේ බොහෝ කලක් පැවැත්වීම මෙන් ද මෙය ස්ව සමයෙහි සනිටුහනය. ආයුෂ්මත් පිළින්දවච්ඡ තෙර රජුගේ මාළිගය රන් වේවයි අදිටන් කළේය. ඒ නිසා අධිප්පාය ඉද්ධි ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්වකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අත්ථි අධිප්පාය ඉද්ධි යයි විචාරීම සකවාදියාටය. එහි අධිප්පාය ඉද්ධි යනු අභිප්රායෙන් ඉද්ධි වේ. අදහසෙහි සමෘද්ධිය වන ඍද්ධිය යන අර්ථය වේ. ආමන්තා යයි ලබ්ධිය මත සිට ප්රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට අනිත්යදියේ නිත්ය බව යෙදීමට නිච්ච පණ්ණා රුක්ඛා හොන්තු යනාදිය කීය. මෙහි සෙස්ස පැහැදිලිය. ලබ්ධිය පිහිටුවීමේ සුවණ්ණා ච පනාසි යයි රජුගේ පින නිසා විය. හුදෙක් තෙරුන්ගේ අධිප්පායෙන්ම නොවේ. එහෙයින් සාධක නොවේ.