17. අනුපුබ්බාභිසමය කථා
දැන් අනුපූර්ව අභිසමය කථා නම් වේ. එහි යමෙකුගේ:
ටික ටික සැණ විසින් - නුවණැත්තා පිළිවෙළින්
රිදියෙහි සිපි ලෙසින් - තම මල බැහැර ලන්නේ
රිදියෙහි සිපි ලෙසින් - තම මල බැහැර ලන්නේ
ආදි දේශනා නුනුවණින් ගෙන සෝවාන්පලය අවබෝධ කිරීම සඳහා පිළිපන්නේ ඇතැම් කෙලෙස් දුක් දැකීමෙන් අත්හරියි. ඇතැම් කෙලෙස් සමුදය නිරෝධ මාර්ග දැකීමෙන් අත්හරියි. සෙස්ස ද මෙසේ සොළොස් කොටසකින් පිළිවෙළින් කෙලෙස් ප්රහානය කොට රහත්වීම වෙයි. මෙබඳු වූ නොයෙක් අවබෝධ ලබ්ධිය ඇතිවිය. දැන් අන්ධක, සර්වාස්තිවාදි, සමිමිතිය, භද්රයානිකයන්ගේ මෙනි. ඔවුන්ගේ ලබ්ධි විවේචනයට අනුපුබ්බාති සමයො යයි විචාරීම සකවාදියාය. ප්රතිඥාව පරවාදියාටය. අනුපුබ්බෙන සොතාපත්ති මග්ගං යයි විචාරණ ලද්දේ එක මගකට බොහෝ ආකාර පැමිණීම බියෙන් ප්රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ දුක්ඛ දර්ශන වශයෙන් පිළිගනී. ඒවා හෝ සතර ඤාණය ද එකම සෝවාන් මාර්ගයයි පිළිගනී. පලය වනාහි එකක්ම කැමති වේ. එනිසා ප්රතික්ෂේප කරයි. සකදාගාමි මාර්ග ආදියේ ද මෙම නයම වේ.
මග්ගෙ දිට්ඨෙ ඵලෙ ඨිතො යන ප්රශ්නයෙහි දුක්ඛ දර්ශනාදියෙන් දැකීම අවසන් නොවේ. මාර්ග දර්ශනයෙන් අවසාන නම් වේ. එකල හේ පලයේ සිටියේය යන සංඛ්යාවට යයි. එනිසා පිළිගනී.
දුක්ඛෙ දිට්ඨෙ චත්තාරි සච්චානි විචාරීම පරවාදියාටය. එක් අභිසමය වශයෙන් ප්රතිඥාව සකවාදියාටය. පුන දුක්ඛ සච්චං චත්තාරි සච්චානි යයි අනුයෝගය වේ. සතරද නානා භාව බැවින් ප්රතික්ෂේපය ඔහුටමය.
රූපක්ඛන්ධෙ අනිච්චතො දිට්ඨෙ යයි විචාරීම සකවාදියාය. මුහුදෙහි එක ජලබිඳුවක රස බැලූවිට සෙසු ජලයේ රස බැලුවා සේ එක් දහමක් අනිත්යාදියෙන් අවබෝධ කිරීමෙන් සියල්ලම අවබෝධ කෙළේය යන ලබ්ධියෙන් ප්රතිඥාව පරවාදියාටය.
චතූහි ඤාණෙහි යනු දුක් ඤාණාදියෙන්. අට්ඨහි ඤාණෙහි ශ්රාවකයන්ට සාධාරණ වූ සත්ය ඤාණයෙන් මෙන්ම පටිසම්භිදා ඤාණයෙන් ද. ද්වාදස්හි ඤාණෙහි අංග දොළහක් ඇති පටිච්ච සමුප්පාද ඤාණයෙන්. චතුචත්තාරීසාය ඤාණෙහි ජරාමරණ ඤාණය, ජරාමරණ සමුදය ඤාණය යයි මෙසේ නිදාන වර්ගයෙහි කියන ලද ඤාණයෙන් සත්ත සත්තිතියා ඤාණෙහි මහණෙනි, ජරාමරණ අනිත්යය, සංඛතය, පටිච්ච සමුප්පන්නය, ක්ෂය ධර්මය, ව්යය ධර්මය, විරාග ධර්මය, නිරෝධ ධර්මය යයි මෙසේ එහිම කියන ලද ඤාණයෙන් මෙහි සෙස්ස සූත්ර සාධනය සමග පෙළේ එන ලෙස දැනගත යුතුය.
18. වොහාර කථා
දැන් ව්යවහාර කථා නම් වේ. එහි භාග්යවත් බුදුන්වහන්සේ ලෝකෝත්තර ව්යවහාරයෙන් ව්යවහාර කරන්නේ යයි යමෙකුගේ ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයින්ගේ මෙන්ම ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ලබ්ධි වශයෙන් ප්රතිඥාව පරවාදියාටය. ලොකුත්තර සො තෙ ආදිය එහි අයුතුබව දැක්වීම සඳහා කියන ලදී. එහි අදහස මෙය වේ. ශබ්දායතනයම ඔවුන්ගේ ලෝකෝත්තරය ද නැතහොත් සෝතාදිය වේද?
හඤ්චි බුද්ධස්ස භගවතො වොහාරො ලොකියෙ සොකෙ පටිහඤ්ඤති යන මෙහි ඉදින් එය ලෝකෝත්තරය. ස්පර්ශ වේ නම් ලෝකෝත්තර වන්නේ යයි මෙසේ අර්ථය නොගත යුතුය. ලෞකිකයෙහි ස්පර්ශ වන්න වනාහි ලෝකොත්තරත්වයක් නම් නැත යයි මෙහි අදහස් මේ වේ. ලොකියෙන විඤ්ඤාණෙන යන මෙහිද ලෞකිකයෙන්ම යන අර්ථය වේ. ඉතිරිවායේ ආකාර විවිධ වේ. ලෝකෝත්තරයෙහි ලෞකික ඤාණයෙන් ද දැනගනී. මෙසේ සියල්ල යථානුරූපයෙන් දැනගතයුතුය. සබ්බෙ තෙ මග්ගං භාවෙන්ති යන ප්රශ්නවල ඇතමෙක් මාර්ගය නොලබති. ඔවුන් සඳහා ප්රතික්ෂේප කරයි. ඇතමෙක් ලබති. ඔවුන් සඳහා පිළිගනී.