11. පරූපහාර කථා
දැන් පරූපහාර කථා නම් වේ. එහි යමෙක් රහත්බව දැනගන්නේ, නොපැමිණ පැමිණි සංඥා ඇත්තේ, අධිමානය ඇත්තේ කොහොන් වූයේ හෝ සැබෑ රහතුන්ගේ ශුක්‍ර විසට්ඨි දැක, මාරකායික දෙවියෝ රහතුන්ගේ අසූචි එක්තැන් කරතියි සිතයි. යම්සේ දැන් පූර්ව ශෛලීහූ සහ අපර ශෛලීහු මෙනි. අත්‍ථි අරහතො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව ඉතිරි අයටය. දැන් යම්හෙයකින් සුක්ක විස්සට්ඨි නම් රාගය හටගැන්ම වේ. එහෙයින් අත්‍ථි අරහතො රාගො යයි අනුයෝගය ඇරඹීය. ඒ සියල්ල පැහැදිලිය.
මාරකායිකා දෙවතා අත්තනො යනාදි ප්‍රශ්නයෙහි යම්සේ ඒ දේවතාවන්ගේ සුක්ක විසට්ඨි නම් නැත. අන්‍යයන්ගේ ශුක්‍ර ගෙන එකතු නොකරති. රහතුන්ගේ වනාහි ශුක්‍රම නැත එහෙයින් නහවං යයි ප්‍රතික්‍ෂේප කරති.
නෙව අත්තනො යන ප්‍රශ්නයෙහි මවා රැස්කරති යන ලබ්ධියෙන් පිළිගනී. ලොමකූපෙහි යන ප්‍රශ්නයෙහි ගිතෙල් තෙල් මෙන් ලෝමකූපවලින් එක්කරන බව දැක ප්‍රතික්‍ෂේප කරයි.
හන්‍දහී යනු උද්‍යෝගාර්ථයෙහි නිපාතයකි. මම රහත් වීම් දැයි විමති ගනිමියි මෙසේ උත්සාහ කොට රැස්කරතියි යන අර්ථය වේ. අත්‍ථි අරහතො විමති යයි අසන ලද්දේ වස්තු අටෙහි සැකය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ ස්ත්‍රී පුරුෂ ආදීන්ගේ නම්ගොත්වල නිශ්චයබව සඳහා පිළිගනී.
අත්‍ථි තස්ස ආසයො යයි ඒ ශුක්‍රගේ මලමූවල මෙන් පිහිටි ස්වභාවයක් ඇත්දැයි අසයි.
සධම්ම කුසලස්ස තමාගේ ද රහත් ධර්මයෙහි පමණක් දක්‍ෂ වූ ප්‍රඥා විමුක්තිය සඳහාම කියයි. පරමධම්ම කුසලස්ස ස්වධර්මයෙන් අන්‍ය වූ අෂ්ට සමාපත්ති ධර්මයෙහි ද දක්‍ෂ වූ උභතෝභාග විමුක්තිය සඳහාම කියයි. සෙස්ස පෙළ ඇසුරෙන්ම දතයුතුය.
12. අඤ්ඤාණ කංඛා කථා
දැන් අඤ්ඤාණ, කංඛා, පරවිතරණ, යයි කථා තුන වේ. එහි රහත් වූ ස්ත්‍රී පුරුෂාදීන්ගේ නම්ගොත් ආදියෙහි ඤාණය පැවැත්මේ අභාවයෙන් අඤ්ඤාණයක් ඇත. (නුවණක් නැත.) එහිම නිශ්චයක් නොමැතිවීමෙන් සැක (කංඛා) ඇත. යම්හෙයකින් ඔවුන්ගේ ඒ වස්තු (අඤ්ඤාණ, කංඛා) අන්‍යයන්ට දෙති. ප්‍රකාශ කරති. කියති. එහෙයින් පරවිතරණ ඇත. මේ ලබ්ධි යම් භේද දැන පුබ්බසේලීයාදීන්ගේ මෙනි. ඔවුන්ගේ ඒ ලබ්ධි බිදීමට කථා තුනෙහිම විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව ද ප්‍රතික්‍ෂේපය ද පරවාදියාටය. එහි සියළු ප්‍රශ්නවල මෙන්ම විසඳුම්වලද පෙළ අනුගමනය කොටම අර්ථ දතයුතුය.
13. වචීභෙද කථා
දැන් වචීභේද කථාවේ, එහි යමෙකුගේ සෝවාන් මාර්ග ක්‍ෂණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැදුනහුගේ දුක් යයි කියයි යන ලබ්ධිය, පුබ්බසේලියාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා සමාපත්තස්ස අත්‍ථි වචීභෙදො යයි විචාරීම සකවාදියාටය. ලබ්ධියෙහි සිට ප්‍රතිඥාව පරවාදියාටය. නැවත සබ්බත්‍ථ යයි භව තුන සඳහා විචාරණ ලද්දේ අරූපය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සබ්බදා යයි කාලය වශයෙන් විචාරණ ලද්දේ ප්‍රථම මාර්ග ක්‍ෂණයෙහි ප්‍රථම ධ්‍යාන සමාපත්තියෙන් අන්‍ය වූ සියළු සමාපත්ති කාල සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සබ්බෙසං සමාපන්නානං යයි විචාරණ ලද්දේ ලෞකික සමාපත්තියට සමවැදුනවුන් සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සංඛ සමාපත්තීසු යයි අසන ලද්දේ දෙවන ධ්‍යාන ආදි සියළු ලෞකික ලෝකෝත්තර සමාපත්ති සඳහා ප්‍රතික්‍ෂේප කරයි.