175. චක්ඛුනා රූපං පස්සතීති කථා
දැන් ඇසින් රූප බලයි යන කථා නම් වේ. එහි ‘චක්ඛුනා රූපං දිස්වා’ යන වචනය නිසා ප්රසාද චක්ෂුවම රූප බලා යයි. යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඇසින් රූප බලන්නේ නම් රූපයෙන් රූප දකින්නේ යයි චෝදනා කිරීමට රූපෙන රූපං පස්සති යයි කීය. අනිකා රූපායතනය සඳහා ප්රතික්ෂේප කොට නැවත විචාළවිට ඇස සඳහාම පිළිගනී. පටිවිජානාති යයි මෙහි අදහස මෙසේය. දකීයයි අපි දැනගැනීම සඳහා විචාරමු. ඇස ලඟට පැමිණීම පමණක් නොවේ. එහෙයින් කියන්න, කිම ඔබගේ ඇස රූපයෙන් රූප දැනගනීද? අනිකා පෙර නයින්ම ප්රතික්ෂේප කොට ද පිළිගැනීම ද වේ. ඉක්බිති ඔහුට මෙසේ ඇති කල්හි රූපය මනෝවිඤ්ඤාණයට පැමිණේ. එයද දැනගැනී යයි චෝදනා කිරීමට රූපං මනොවිඤ්ඤාණං යයි කීය. අනිකා ලෙශයකුදු නො ලබන්නේ ප්රතික්ෂේප කරයි. අත්ථි චක්ඛුස්ස ආවට්ටනා යනාදි ඉදින් ඇස දැනගැනීම් අරුතින් බලයි නම් චක්ඛු විඤ්ඤාණය මෙන් එයද ආවර්ජනාවෙන් විය යුතු යයි චෝදනා කිරීමට විචාරයි. අනිකා යම්සේ ආවර්ජන ප්රතිබද්ධ ඇසක් නොවේ. ආවර්ජනාවට අනතුරුව එය නූපදී. එහෙයින් නහෙවං යයි ප්රතික්ෂේප කරයි. සොතෙන සද්දං යනාදියෙහි ද මෙම නයයි. ‘ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං පස්සති’ යයි සසංහාර කථා න්යායෙන් කියන ලදී. යම්සේ ඊයෙන් විදින්නේ ද දුන්නෙන් විදී යයි කියනු ලැබේ. මෙසේ චක්ඛු විඤ්ඤාණයෙන් බලන්නේ ද ඇසින් බලයි කියන ලදී. එනිසා මෙය අසාධක වේ. සෙස්සෙහිද මෙම නයයි.
අටළොස්වැනි වර්ගය නිමයි.
19. එකුන්විසි වැනි වර්ගය
176. කිලෙස ජහන කථා
දැන් කෙලෙස් අත්හරින කථා නම් වේ. එහි යම්හෙයකින් කෙලෙස් ප්රහානයක් ඇත. ප්රහීන කෙලෙස් ද අතීත කෙලෙස් ප්රහීන වී ඇත. එසේම අනාගත වර්තමානද වේ. එහෙයින් අතීත කෙලෙස් ප්රහානයෙන් අනාගත වර්තමාන කෙලෙස් ද ප්රහාන වූයේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අතීතෙපි යනාදි විචාරීම සකවාදියාය. ප්රතිඥාව අනෙකාගේය. සෙස්ස පෙල අනුව පමුණුවයි. නත්ථි කිලෙසෙ ජහති යන පරවාදියාගේ මේ ප්රශ්නයෙහි යම්සේ කසල බැහැර කරන්නාට කසල බැහැර කරන උත්සාහය මෙන් කෙලෙස් දුරුකරන්නාට අතීතාදි කෙලෙස්වල උත්සාහයක් නැත. නිවන් අරමුණෙහි වනාහි ආර්ය මාර්ගය පවතින විට කෙලෙස් නූපන්නේමය. නූපදී යයි ප්රහීන වූයේ වේ. එහෙයින් න හෙවං යයි ප්රතික්ෂේප කරයි. තෙනහි අතීතෙ කිලෙසෙ ජහති යනාදිය වනාහි යම්හෙයකින් නොමැති නම් කෙලෙස් ප්රජනන යයි නො කිවයුතුය. එහෙයින් අතීතාදි භේදයෙහි දුරුකරයි යන ඡලයෙන් කියන ලදී.
177. සුඤ්ඤතා කථා
දැන් ශූන්යතා කථා නම් වේ. එහි සුඤ්ඤතා යයි අනාත්ම ලක්ෂණ ස්කන්ධ ද නිවනදැයි ශුන්යතා දෙකකි. ඒවායින් අනාත්ම ලක්ෂණය එක් ආකාරයකින් සංස්කාර ස්කන්ධයට ඇතුළත් වේ. නිවන අපරියාපන්න වේ. මේ විභාගය නොගෙන ශුන්යතාව සංස්කාර ස්කන්ධයට ඇතුළත් වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. අනිමිත්ත යනු සියළු නිමිති රහිත නිවනයි. අප්රණිහිත යනු ඊටම නමකි. කුමක්හෙයින් ගෙනෙන ලදද? අවිභජ්ජ වාදයෙහි දෝෂාරෝපනය සඳහා. යමෙකුගේ නොබෝදා ශුන්යතාව ඒකදේශයකින් සංස්කාර ස්කන්ධයට ඇතුළත් යයි ලබ්ධිය වේ. ඔහුගේ නිවන ද සංස්කාර ස්කන්ධයට ඇතුළත් බවට පැමිණේ. මේ දෝෂාරෝපනය සඳහා අනිමිත්ත අප්පණිහිතං ගෙනෙන ලදී. අනෙකා ඒ ඇතුළත් බව නොකැමැත්තේ ප්රතික්ෂේප කරයි. සංඛාරක්ඛන්ධො න අනිච්චො යනාදි නිවන් සංඛ්යාත ශූන්යතාවේ අනිත්යභාවයට පැමිණි දෝෂ දර්ශනය සඳහා කියන ලදී.
සංඛාරක්ඛන්ධස්ස සුඤ්ඤතා යනාදි අන්ය ස්කන්ධයේ ශුන්යතාව අන්ය ස්කන්ධයට ඇතුළත් වේ. සංස්කාර ස්කන්ධ ශුන්යතාව ද සෙසු ස්කන්ධවලට ඇතුළත් විය යුතුයයි චෝදනාව පිණිස කියන ලදී. සංඛාරක්ඛන්ධ සුඤ්ඤතා න වත්තබ්බ යනාදි ඉදින් සංස්කාර ස්කන්ධ ශූන්යතාව සෙසු ස්කන්ධවලට ඇතුළත් නොවේ යයි ප්රතිලෝම දර්ශනය සඳහා කියන ලදී.