18. අටළොස්වැනි වර්ගය
167. මනුස්ස ලෝක කථා
දැන් මනුස්ස ලෝක කථා නම් වේ. එහි ‘භාග්යවතුන් වහන්සේ ලෝකයෙහි උපන්හ. ලෝකයෙහි වැඩුණාහ. ලෝකයෙන් නො ඇලී ලෝකය මැඩ වාසය කරති’ යන සූත්රය අනුවණින් ගෙන භාග්යවතුන් වහන්සේ තුසිත භවනයෙහි උපන්හ. එහිම වාසය කරති. මනුෂ්ය ලෝකයට නොපැමිණෙති. නිර්මිත රූපය පමණක් මෙහි දක්වති යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ දැන් වෛතුල්යයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට විචාරීමෙන් ද සූත්ර සාධනයෙන් ද දැක්වීමට නනු අත්ථි යනාදිය කීය. ලොකෙ ජාතො පරවාදියා තුසිත පුරය සඳහා කියයි. ශාස්තෲන් වහන්සේ විසින් මනුෂ්ය ලෝකයම සඳහා ලෝකං යයි කියන ලදී. ලොකං අභිභුය්ය යයි පරවාදියා මනුෂ්ය ලෝකය අභිභවනය කොට දෘෂ්ටියෙන් කියයි. ශාස්තෲන් වහන්සේ වනාහි අරමුණු ලෝකය මැඩ වාසය කළහ. අනුපලිත්තො ලොකෙන පරවාදියා මනුෂ්ය ලෝකයෙහි නො ඇලීම සඳහා කියයි. ශාස්තෲන් වහන්සේ ලෝක ධර්මයෙහි කෙළෙසුන්ගෙන් නො ඇලී වාසය කළහ. එහෙයින් මෙය අසාධකය.
168. ධම්ම දෙසනා කථා
දැන් ධර්මදේශනා කථා නම් වේ. එහි තුසිත පුරයෙහි සිටියේ ධර්ම දේශනාව පිණිස භාග්යවතුන් වහන්සේ නිර්මිත බුදුවරයෙකු එවූහ. එයින් ද උන්වහන්සේගේ ද දේශනා පිළිගෙන ආයුෂ්මත් ආනන්ද හිමියන් විසින් ධර්මය දේශනා කරන ලදී. භාග්යවත් බුදුන් වහන්සේ නොවේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. වෛතුල්යවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් එයින් ධර්මය දේශනා කරන ලද්දේ නම් එයම ශාස්තෲන් වහන්සේ යයි චෝදනා කිරීමට අභිනිම්මිත්තා ජිනො යනාදිය කීය. අනිකා එසේ නොපිළිගන්නේ ප්රතික්ෂේප කරයි. සෙස්ස පැහැදිලිය.
169. කරුණා කථා
දැන් කරුණා කථා නම් වේ. එහි ප්රියකරන වස්තූන්ගේ විපත්තියෙන් රාග සහිත වූ රාග වශයෙන් කරුණා ප්රතිරූපක පැවැත්ම ඇත. රාගයම කරුණා නම් වේ. එයද භාග්යවතුන් වහන්සේට නැත. එහෙයින් භාග්යවත් බුදුන්වහන්සේට කරුණාව නැතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට කරුණා නම් නික්ලේශයෙන් ද සතුන් අරමුණු කිරීමෙන් ද චිත්ත විමුක්තියෙන් ද ආනිසංස එකොළොසකින් ද මෛත්රී ආදියෙන් සමාන ජාතික වේ. එහෙයින් ඉදින් භාග්යවතුන් වහන්සේට කරුණාව නැත්නම් මෛත්රී ආදියට නොවන්නේ යයි චෝදනා කිරීමට නත්ථි බුද්ධස්ස භගවතො මෙත්තා යනාදිය කීය. අකාරුණිකො යන ප්රශ්නයෙහි එබඳු වූ ව්යවහාරයක් නොදක්නේ ප්රතික්ෂේප කරයි. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේමය.
170. ගන්ධජාත කථා
දැන් ගන්ධජාත කථා නම් වේ. එහි යමෙකුගේ භාග්යවත් බුදුන් වහන්සේ කෙරෙහි අනුවණින් ප්රේම වශයෙන් භාග්යවතුන් වහන්සේගේ මල මූ සෙසු සුවඳ ජාතීන්ට වඩා අධිකව ගනී. ඊට වඩා සුවඳ ජාතියක් නැතැයි ලබ්ධි වේ. යම්සේ ඇතැම් අන්ධකයන්ගේ ද උත්තරාපථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවයි.
171. එකමග්ග කථා
දැන් ඒක මාර්ග කථා නම් වේ. එහි යමෙකුගේ භාග්යවතුන් කෙරෙහි අනුවණින් ප්රේම වශයෙන් භාග්යවතුන් වහන්සේ සෝවාන් වී සකදාගාමි වී අනාගාමී වී රහත්බව අවබෝධ කළහ. එකම ආර්ය මාරිගයෙන් සතර පලයන් අවබෝධ කළහයි ලන්ධිය වේ. යසේ ඔවුන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සතරපල සමග උපන් සතර ඵස්සාදීන්ගේ එකක් සේ සමොධාන වශයෙන් චෝදනා කිරීමට භගවා සොතාපන්නො කී කල්හි එයින් සක්කාය දිට්ඨි ආදීන්ගේ ප්රහාණ අභාව වශයෙන් චෝදනා කරයි. භගවා සොතාපන්නො යයි බුදු කෙනෙකුට සෝවාන් බව නැතැයි ප්රතික්ෂේප කරයි. පසුව එන ප්රශ්න දෙකෙහි ද මෙම නයයි. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවන්න.